Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු දෙවැනි සතියේ

ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු දෙවැනි සතියේ

යොහාන් භාසුර - 2020 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය (එල්.පී.එල්.) අගෝස්තු මස දෙවැනි සතියේ ආරම්භ කිරීමට සැළසුම්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.

“අගෝස්තු 8 හෝ 9 තරගාවලිය ආරම්භ කරන්න තමයි අපි සැළසුම් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මේ වන විට ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් ඉන්නවා..... තරගාවලි අධ්‍යක්‍ෂවරයෙක් තවම පත්කරලා නෑ. අපේ නිලධාරීන් වන බන්දුල දිසානායක සහ අනුර වීරසිංහ යන මහත්වරු තරගාවලියේ ප්‍රධානීන් ලෙස පත්කරලා තියෙනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු වන රසල් ආනල්ඞ් මහතා මීට පෙර මෙම තරගාවලියේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කර සිටියේය.  මෙම තරගාවලිය පැවැත්වීමට හැකිවුවහොත් ‘කොරෝනා’ අවදානමෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය එය බවට පත්වේ.  

මෙම තරගාවලියට කණ්ඩායම් පහක් ක්‍රීඩා කරන අතර එක කණ්ඩායමක සංචිතයට විදේශ ක්‍රීඩකයන් හය දෙනකු සහ දේශීය ක්‍රීඩකයන් නව දෙනකු ඇතුළත් වේ. වර්තමාන ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම ක්‍රීඩකයන්ට තරගාවලිය සඳහා ආරාධනා කර ඇති අතර ක්‍රීඩකයන් පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැත.

තරගාවලියට සහභාගි වන සියලු ක්‍රීඩකයන් දින 14 කට වැඩි කාලයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවත් ඔවුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කිරීමට නියමිතය.  

මෙම සම්පූර්ණ තරගාවලියට තරග 23 ක් ඇතුළත් වන අතර එම තරග ක්‍රීඩාංගණ හතරක පැවැත්වීමට සැළසුම් කරමින් සිටියි. දඹුල්ල, සූරියවැව, පල්ළෙකැලේ සහ එස්.එස්.සී. යන ක්‍රීඩාංගණවල මෙම තරග පැවැත්වීමට නියමිතය.

“කොරෝනා ප්‍රශ්නය නිසා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අවසන් කරන්න ලැබුණෙ නැති නිසා එහි තරග පවත්වන්න බැරි වෙනවා. ඒ නිසා අපිට කොළඹ ක්‍රීඩාංගණය ලෙස එස්.එස්.සී. තෝරාගන්න වුණා”

“ඇතැම් විට දඹුල්ල සහ පල්ළෙකැලේ යන ක්‍රීඩාංගණ දෙකේ පමණක් තරග පැවැත්වීමේ සැළසුමක් ද තියෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නෑ” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් 2012 වසරේ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් (එස්.එල්.පී.එල්.) ලෙස තරගාවලියක් පැවැති අතර ඉන් අනතුරුව එය පැවැත්වීමට නොහැකි විය.


අදහස් (0)

ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු දෙවැනි සතියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.