Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රනිඳු - නෙත්මි පෙරමුණ ගනිති

රනිඳු - නෙත්මි පෙරමුණ ගනිති

editorial - 2020 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සංවිධානයෙන් සම්මේලන මූලස්ථානයේදී පැවත්වෙන ජාතික චෙස් ශූරතාවලියේ පළමු කොටස අවසන් වන විට කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිඳු ලියනගේ සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නෙත්මි ප්‍රනාන්දු ඉදිරියෙන් සිටිති. මෙම තරගාවලිය තරගකරුවන් 14 දෙනෙකු අතර ලීග් ක්‍රමයට අනුව පැවැත්වේ.

තරගාවලියේදී ඉහළම ලකුණු ලබාගන්නා ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව මෙම වසරේ (2020) ජාතික චෙස් ශූරයා සහ ශූරිය ලෙස කිරුළු පළඳිනු ඇත.

තරගාවලිය ආරම්භ වූයේ රොමේෂ් වීරවර්ධන සහ චින්තක අනුරුද්ධ ගලප්පත්ති (මහනුවර තරුණ ක්‍රිස්තියානි චෙස් සමාජය) යන ප්‍රවීණ ක්‍රීඩකයන් දෙදෙනා පරාජයට පත් කළ සුසල් ද සිල්වා (කොළඹ නාලන්දා විද්‍යාලය) සහ රනිඳු දිල්ෂාන් ලියනගේ (කොළඹ ආනන්ද විද්‍යාලය) යන යොවුන් ක්‍රීඩකයින් දෙදෙනාට ශූරතාව සඳහා යාමට මංපෙත් විවර කර දෙමිනි.

මහීෂ දබරේරාට (කුරුණෑගල මාලියදේව විද්‍යාලය) එරෙහිව පැවැති 5 වැනි තරගයේ ජයග්‍රහණයෙන් පසුව රනිඳු පෙරමුණට පැමිණියේ සුසල් සහ මිනුල් දොළුවීර (කොළඹ රාජකීය විද්‍යාලය) දෙවැනි සහ තෙවැනි ස්ථානයන්ට ඇද දමමිනි. තරගාවලියේ පළමු කොටස අවසානයේදී රනිඳු ලකුණු 6 ක් ලබා පෙරමුණේ පසුවන අතර මිනුල් ලකුණු 5 ක්ද, සුසල් ලකුණු 4.5 ක්ද ලබා පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති.

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නෙත්මි ප්‍රනාන්දු පළමු කොටස අවසානයේ කාන්තා අංශයේ පෙරමුණට පැමිණියාය. ඇය මේ වන විටත් ශූරතාව සඳහා ඇය පසුපස හඹා එන සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනාට මෙන්ම හිටපු ජාතික ශූරියට එරෙහිවද ක්‍රීඩා කර තිබිම විශේෂත්වයකි.

පළමු කොටස තුළදී ඇය සමග පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත හැකි වූයේ විශාඛා විද්‍යාලයේ ඊෂා පල්ලිට පමණි. විචර්ලි ජාත්‍යන්තර පාසලේ අශ්විනි පවලචන්ද්‍රන්  නෙත්මිට වඩා ලකුණු 1.5 ක් පසුපසින් සිටින අතර විශාඛා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන ඊෂා පල්ලි සහ නෙවංජි හේවාවසම්, නෙත්මිට වඩා ලකුණු 2 බැගින් පසුපසින් සිටිති.

තරගාවලියේ දෙවැනි කොටස අද (19 වැනිදා) ආරම්භ වන අතර ලබන 21 වැනිදා නිමාවට පත්වීමට නියමිතය. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් පිරිනැමෙන සම්මාන උළෙල 21 වැනිදා පැවැත්වේ.

- 036


අදහස් (0)

රනිඳු - නෙත්මි පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.