Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මෝටර් රථ සංගමයේ සුක්කානම අෂ්හර් හමීම්ට

මෝටර් රථ සංගමයේ සුක්කානම අෂ්හර් හමීම්ට

ශානුක අරවින්ද - 2020 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 31 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ මහ සභා රැස්වීමේදී ඉදිරි වසර 4 ක කාල සීමාව සඳහා සංගමයේ නව සභාපතිවරයා ලෙස සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයකු වන අෂ්හර් හමීම් මහතා නිතරගයෙන් පත්වීමට නියමිතය.

ෂෙහාන් තිසේරා මහතා සංගමයේ නව ලේකම්වරයා ලෙස පත්වීමට නියමිතව ඇත්තේද නිරගයෙනි. තනතුරු සංඛ්‍යාවට සමාන නාමයෝජනා සංඛ්‍යාවක් පමණක් ඉදිරිපත්වී තිබීම හේතුවෙන් එහිදී ඡන්ද විමසීමක් නොපැවැත්වෙනු ඇත. ඒ අනුව සියලුම තනතුරු සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්වීමට නියමිතය.

එහිදී සංගමයේ උප සභාපතිවරුන් ලෙස ඩේවිඩ් ටොඩ් සහ සමින්ද සිල්වා, උප ලේකම්වරයා ලෙස ලෙස රිස්වි ෆාරුක්, භාණ්ඩාගාරිකවරයා ලෙස උපුල්වන් සේරසිංහ, උප භාණ්ඩාගාරිකවරයා ලෙස කර්නල් දුමින්ද ජයසිංහ යන මහත්වරුද නිතරගයෙන් පත්වීමට නියමිතය.

සංගමයේ කමිටු සාමාජිකයන් ලෙස අනු සංගම් සහ ක්‍රීඩා සමාජ 9 නියෝජනය කරමින් නිලධාරීන් දෙදෙනා බැගින්ද, යුද හමුදාව නියෝජනය කරමින් එක් නිලධාරියකුද පත්වීමට නියමිතය. වෛද්‍ය සංජය සේදර සෙනරත්, එරන්ද වාකිෂ්ඨ, සෆ්රාස් ජ්‍රනෙයිඩ්, යොහාන් ලෝරන්ස්, දිනේෂ් ජයවර්ධන, අභීත් දංගල්ල, රයන් ග්‍රේ, ජාලිය ජයසෙකර, ටී.ජී.එන්. ගාමිණී, මාලක හේරත්, නමාස් ෆව්සි, කාලිම් ඉක්බාල්, බි්‍රගේඩියර් ඉන්දූ සමරකෝන්, ජනක ඩයස්, ජයන්ත ප්‍රනාන්දු, පූබුදු වික්‍රම, කාමිල් හුසේන්, ධම්මික පීරිස් සහ සුරංජිත් ප්‍රේමදාස යන මහත්වරු එම කමිටවුට ඇතුළත්ව සිටින නිලධාරීහු වෙති.

ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ නිලවරණයට සහ නිලවරණය සඳහා ඉදිරිපත්වී ඇති නාමයෝජනාවලට එරෙහිව යොමුකර තිබූ විරෝධතා සියල්ලම ප්‍රතික්ෂේප කිරීමට විශ්‍රාමලත් යුද හමුදා මේජර් ජනරාල් මනෝ පෙරේරා මහතාගේ සභාපතීත්වයෙන් යුත් නිලවරණ කමිටුව පියවර ගත්තේය. විරෝධතා විභාග කිරීම ඉකුත් සිකුරාදා (14 වැනිදා) පස්වරු 5.00 ට කොළඹ, ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
 
මෙවර නිලවරණය සඳහා ප්‍රධාන වශයෙන් විරෝධතා 4 ක් ඉදිරිපත්වී තිබිණ. දෙකක් නාමයෝජනාවලට එරෙහිවද, එක් විරෝධාතවක් අනු ක්‍රීඩා සමාජයක ඡන්ද අයිතියට එරෙහිවද, තවත් විරෝධතාවක් නිලවරණය පැවැත්වීමට එරෙහිවද ඉදිරිපත්වී තිබිණ. එහිදී සංගමයේ උප ලේකම් ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත්කර ඇති හිටපු ලේකම් රිස්වි ෆාරුක් මහතාට සහ භාණ්ඩාගාරික ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත්කර ඇති උපුල්වන් සේරසිංහ මහතාට එරෙහිව කියාස් ඩීන් මහතා විරෝධතා දෙකක් යොමුකර තිබිණ.

ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයකු වන සුරංජිත් ප්‍රේමදාස මහතාද එහිදී විරෝධතාවක් ඉදිරිපත්කර තිබූ අතර ඒ සංගමයට අනු බද්ධ ක්‍රීඩා සමාජයක් වන සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ ඡන්ද අයිතියට එරෙහිවය. ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩා), නිලවරණය පැවැත්වීමට එරෙහිව සෙසු විරෝධතාව ඉදිරිපත්කර තිබිණ.

කෙසේ වුවත් අනු ක්‍රීඩා සමාජයක් හෝ සංගමයක් නියෝජනය නොකරමින් පුද්ගලිකව ඉදිරිපත් කර තිබීම හේතුවෙන් ඩීන් මහතාගේ විරෝධාතා දෙකත්, නියමිත දිනයට පෙර ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ප්‍රේමදාස මහතාගේ විරෝධතාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ විරෝධතාවත් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත් බව නිලවරණ කමිටු නිලධාරිණියක ‘ලංකාදීප’යට පැවසුවාය.

 


අදහස් (0)

මෝටර් රථ සංගමයේ සුක්කානම අෂ්හර් හමීම්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.