Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මෝටර් රථ ක්‍රීඩා සංගමය ධාවනයට සීරුවෙන්

මෝටර් රථ ක්‍රීඩා සංගමය ධාවනයට සීරුවෙන්

ශානුක අරවින්ද - 2020 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගතයෙන් අනතුරුව යළිත් මෝටර් රථ සහ යතුරුපැදි තරග ආරම්භ කිරීම සම්න්ධයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමය මේ දිනවල දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටියි. එම සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස සැප්තැම්බර් මාසයෙන් අනතුරුව, වසර නිමා වීමට පෙර අවම තරගාවලි 3 ක් සංවිධානය කිරීමට මෝටර් රථ ක්‍රීඩා මව් සංගමය සැලසුම් කරමින් සිටියි.

ඊට තාර ඇතිරූ ධාවන පථයකදී පැවැත්වෙන තරගාවලියක්, බොරළු සහිත ධාවන පථයකදී පැවැත්වෙන තරගාවලියක් සහ කඳු තරණ තරගාවලියක් ඇතුළත්වන බව මව් සංගමයේ ලේකම් රිස්වි ෆාරුක් මහතා ‘ලංකාදීප’යට පැවසීය. එහිදී ඔහු කියා සිටියේ මව් සංගමය තුළ ලියාපදිංචි අනු සංගම් සහ ක්‍රීඩා සමාජ 10 ම මෙම තරගාවලි තුනෙහි සංවිධාන කටයුතු සඳහා සහභාගි කරවා ගැනීමට බලාපොරොත්තු වන බවය.

තාර ඇතිරූ ධාවන පථයකදී පැවැත්වීමට නියමිත තරගාවලිය කළුතර, කටුකරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදීත්, කඳු තරණ තරගාවලිය නුවරඑළිය, මාගස්තොට ප්‍රදේශයේදීත් පැවැත්වීමට බලාපොරොත්තු වන පැවසූ ෆාරුක් මහතා, බොරළු සහිත ධාවන පථයකදී පැවැත්වීමට නියමිත තරගාවලිය කුමක්දැයි තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි බවද සඳහන් කළේය.

“කටුකරුන්ද ධාවන පථය තමා ‘ටාමැක්’ (තාර ඇතිරූ ධාවන පථයකදී පැවැත්වෙන) තරගාවලියක් පවත්වන්න අපිට තියෙන එකම ධාවන පථය. ඒ නිසා ටාමැක් තරගාවලිය සඳහා අපිට වෙනත් විකල්පයක් නැහැ.”

“මාගස්තොට තරගාවලිය ගැන කියනවා නම් ඒක තමා ලංකාවේ පැරණිම මෝටර් රථ තරගාවලිය. මේ වෙනකොට අවුරුදු 85 ක් මාගස්තොට තරගාවලිය පවත්වලා තියෙනවා. ඒ නිසා මේ වසරෙදිත් අපි කොහොම හරි ඒ තරගාවලිය පවත්වන්න උත්සාහ කරනවා.”

“මේ තරගාවලිය තුනට ඇතුළත් ‘ග්‍රැවල්’ (බොරළු සහිත ධාවන පථයකදී පැවැත්වෙන) තරගාවලිය මොකක්ද කියලා අපි තවමත් තීරණය කරලා නැහැ. ඒත් එය දිවයිනේ පැරණිම සුපර්ක්‍රොස් තරගාවලිය වන නරියාකන්ද තරගාවලිය නම් නොවේවි.” යැයිද ෆාරුක් මහතා පැවසීය.

මේ අතර මෝටර් රථ ක්‍රීඩා මව් සංගමයේ මහ සභා රැස්වීම සහ නිලවරණය ලබන අගෝස්තු මස අග භාගයේදී පැවැත්වීමට නියමිතය. විශ්‍රාමික මේජර් ජනරාල් මනෝ පෙරේරා මහතාගේ සභාපතීත්වයෙන් යුතු නිලවරණ කමිටුව මේ දිනවල ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවද වාර්තා වේ.

නිලවරණය පැවැත්වීමේ පළමු පියවර ලෙස ඡන්දය ප්‍රකාශ කරන්නන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා මව් සංගමයේ ඡන්ද අයිතිය හිමි අනු සංගම් සහ ක්‍රීඩා සමාජ වෙත ලිපි යොමු කිරීමටද නිලවරණ කමිටුව මේ වන විට පියවර ගෙන තිබේ. චම්පා ගුණවර්ධන සහ ඔලීවියා ගමගේ යන මහත්මීන් නිලවරණ කමිටුවට ඇතුළත්ව සිටින සෙසු සාමාජිකාවෝ වෙති.

 


අදහස් (0)

මෝටර් රථ ක්‍රීඩා සංගමය ධාවනයට සීරුවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.