Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවරදී ගෝල වරුසාවක්

මහනුවරදී ගෝල වරුසාවක්

යොහාන් භාසුර - 2019 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2019) පළමු වටයේ තෙවැනි සතියේ තරගවලදී මහනුවර ක්‍රීඩා සමාජය පිට පිටම තෙවැනි ජයග්‍රහණ ලැබීමට සමත් විය.

මහනුවර පිල අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකරගනෙ සිටියි.  මහනුවර ක්‍රීඩකයෝ නිත්තවෙලදී පැවැති තරගයේදී ලකුණු 64 - 19 කින් යුද හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

මහනුවර පිල ගෝල 8 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින්  ලකුණු රැස්කළේය.

ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත මහනුවර පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 36-0 කින් පෙරමුණ ගනිමින් අතිරේක ප්‍රසාද ලකුණ ද එකතු කරගෙන සිටියේය.  

ප්‍රබල ක්‍රීඩක තිළිණ විජේසිංහ ලකුණු පෙරහැර ආරම්භ කරමින් පස්වැනි මිනිත්තුවේදී මහනුවර පිලට පළමු උත්සාහක දිනුම සම්පූර්ණ කරමින් එහි ප්‍රවර්ථනය ද ඔහුම සාර්ථක කිරීමට සමත් විය.

කවිඳු පෙරේරා, බුද්ධිම පියරත්න සහ ජේසන් දිසානායක සම්පූර්ණ කළ උත්සාහක දිනුම් තුනෙන් දෙකකට තිළිණ විජේසිංහ අතිරේක ලකුණු හතරක් එකතු කිරීමත් සමඟ 30 වැනි මිනිත්තු වන විට මහනුවර පිල ලකුණු 29 ක් රැස්කර සිටියේය.

තිළිණ විජේසිංහ සිය දෙවැනි උත්සාහක දිනුමට අතිරේක ලකුණු දෙක මුසුකිරීමත් සමඟ ලකුණු 36-0 ක් ලෙස මහනුවර පිල ඉදිරියෙන් සිටියදී පළමු අර්ධය අවසන් විය.  

යුද හමුදා පිලේ ෆිජි ක්‍රීඩක සී. තෝමස් දෙවැනි අර්ධය ආරම්භයේදීම මහනුවර ගෝල සීමාව ආක්‍රමණය කරමින් උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය. ගයාන් සාලින්ද එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 36-7 ක් ලෙස දිස්විය.

ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩක තරින්ද රත්වත්තගේ උත්සාහක දිනුම සහ බුද්ධිම පියරත්නගේ දෙවැනි උත්සාහක දිනුම විනාඩි දෙකක් ඇතුළත සම්පූර්ණ කිරීමෙන් මහනුවර පිල තවත් ශක්තිමත් විය. තිළිණ විජේසිංහ එම උත්සාහක දිනුම් දෙක ද ගෝල බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ මහනුවර පිලේ අර්ධ ශතකය සම්පූර්ණ විය.

නාලන් ප්‍රේමනාන් දෙවැනි අර්ධයේ 13 වැනි මිනිත්තුවේදී යුද හමුදා පිලට දෙවැනි උත්සාහක දිනුම එකතු කළ අතර ගයාන් සාලින්ද එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය. ඒ අනුව ලකුණු තත්ත්වය 50-14 ක් විය.  බුද්ධිම පියරත්න, තරගයේ වීරයා බවට පත්වෙමින් දෙවැනි අර්ධයේ 15 වැනි මිනිතත්තුවේදී තෙවැනි උත්සාහක දිනුම මහනුවර පිලට එකතු කළේය. තිළිණ සුපුරුදු පරිදි අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 57-14 ක් බවට පත්විය.

ජේසන් දිසානායක ඊට මිනිත්තු තුනකට පසුව සිය දෙවැනි උත්සාහක දිනුම මහනුවර පිලට එකතු කළේය. තිළිණගේ පා පහරින් එයට අතිරේක ලකුණු එකතු වීමත් සමඟ මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 64 ක් බවට පත්විය.

තරගය අවසන් වීමට මිනිත්තු දෙකක් පමණ තිබියදී තුසිත සේනානායක, යුද හමුදාවට එකතු කළ උත්සාහක දිනුමත් සමඟ අවසන් ලකුණු තත්ත්වය 64-19 ක් බවට පත්විය.

 


අදහස් (0)

මහනුවරදී ගෝල වරුසාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.