Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර පිල හයවැනි ජය ලබයි

මහනුවර පිල හයවැනි ජය ලබයි

යොහාන් භාසුර - 2020 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

"ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ හයවැනි තරගයෙන් ද ජය ලැබීමට මහනුවර ක්‍රීඩා සමාජය සෙනසුරාදා (11) සමත්විය. කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී සෙනසුරාදා පස්වරුවේ පැවැති මෙම තරගයේදී මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 31-13 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් වූහ.

 මහනුවර පිල පිට පිටම තරග හයම ජය ලබමින් මේ වන විට එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටී. මහනුවර පිල මෙම තරගයේදීත් අතිරේක ප්‍රසාද ලකුණ සමගින් ජය ලැබීම කැපී පෙනුණි. කෙසේ වෙතත් මහනුවර පිල තරමක් දුරට පාලනය කිරීමට සී. එච්. ක්‍රීඩකයෝ සමත් වීමෙන් ලකුණු 31 කින් මහනුවරට සෑහීමට පත්වීමට සිදුවිය.  

මහනුවර පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-8 ක් ලෙස පෙරමුණේ පසුවිය.

ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයකු වන සජිත් සාරංග 13 වැනි මිනිත්තුවේදී මහනුවර පිලේ ඉදිරි පෙළ බිඳ දමමින් ගෝල සීමාව ආක්‍රමණය කිරීමෙන් ලකුණු පුවරුව 5-0 ක් කළ හෙයින් සී. එච්. පිල පෙරමුණට පැමිණියේය. සී. එච්. පිලට 24 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර සැමුවෙල් මධුවන්ත සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 8-0 ක් බවට පත්විය.

මහනුවර පිල ඉදිරියෙන් මිනිත්තු 27 ක් පැවැති බිංදුව මකා දමමින් ජේසන් දිසානායක සම්පූර්ණ කළ උත්සාහක දිනුම තරින්ද රත්වත්ත ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 8-7 ක් බවට පත්විය.

බුද්ධිම පියරත්න 32 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට තරින්ද රත්වත්ත අතිරේක ලකුණු මුසුකිරීමත් සමඟ මහනුවර පිල පළමු වරට ලකුණු 14-8 ක් ලෙස ඉදිරියට පැමිණියේය. තරින්ද රත්වත්ත 36 වැනි මිනිත්තුවේදී මහනුවර පිලට තෙවැනි උත්සාහක දිනුම එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 19-8 ක් බවට පත්විය.

තරින්ද රත්වත්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් රැස්කරගෙන සිටින අත්දැකීම් මනාව යෝජනයට ගනිමින් දෙවැනි අර්ධයේ හයවැනි මිනිත්තුවේදී එනම් සමස්ත තරගයේ 46 වැනි මිනිත්තුවේදී මහනුවර පිලට සිය දෙවැනි උත්සාහක දිනුම සම්පූර්ණ කරමින් ඔහු විසින්ම අතිරේක ලකුණු දෙක ද එකතු කරන ලදී. ඒ අනුව මහනුවර පිල ලකුණු 26-8 ක් ලෙස ශක්තිමත් විය.

සී. එච්. පිලේ නායක රෝහිත රාජපක්‍ෂ 50 වැනි මිනිත්තුවේදී සී. එච්. පිලට දෙවැනි උත්සාහක දිනුම එකතු කිරීමෙන් ලකුණු පුවරුව 26-13 ක් බවට පත්විය.

බුවනක උඩන්ගමුව 69 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුමත් සමඟ මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 31 ක් බවට පත්විය.

තරගයේ අවසන් මිනිත්තු 12 ක පමණ කාලය තුළ කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කිරීමට නොහැකි වීම ද විශේෂත්වයකි.
 


අදහස් (0)

මහනුවර පිල හයවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.