Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මල්ලවපොර නියෝජිතයන් 20දා කැඳවයි

මල්ලවපොර නියෝජිතයන් 20දා කැඳවයි

නාමල් පතිරගේ - 2020 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ වත්මන් ලේකම්වරයාට චෝදනා කරමින් කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමය විසින් ගොනු කරන ලද පැමිණිල්ල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මල්ලවපොර සම්මේලනයේ සියලු පාර්ශ්වයන් මෙම 20 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා තිබේ. ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පස්වරුවේදී මෙම විශේෂ සාකච්ඡාව කැඳවා තිබේ.

සම්මේලනයේ ව්‍යවස්ථාව කූඨ ලෙස වෙනස් කර ඇතැයි කියන සිදුවීමක් ඇතුළුව මූල්‍ය චෝදනා කිහිපයක්ද ගොනු කරමින් මල්ලවපොර සම්මේලනයේ ලේකම් චමින්ද කුමාර මල්ලවආරච්චි මහතාට එරෙහිව චෝදනා මාලාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට බාරදී ඇත්තේ කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ ලේකම් එච්.එම්. ලක්ෂ්මන් මහතා විසිනි. කොළඹ සංගමය හා මහනුවර දිස්ත්‍රික් මල්ලවපොර සංගමය එක්ව දූෂණ වංචා අක්‍රමිකතා හා ව්‍යවස්ථා උල්ලංඝණයන් පිළිබඳව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් විමර්ශනය කර නිර්දේශ ලබාදී තිබේ.

ඒ සම්බන්ධයෙන් කරුණු විභාග කළ එම කමිටුව නිගමනය කර ඇත්තේ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ 2017 වසෙර් සිට පත්වූ නිලධාරි මණ්ඩලය 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමෙන් බරපතළ වරදක් කර ඇති බවයි. ඒ අනුව කමිටුව නිර්දේශ කර ඇත්තේ අන්තර් පාලන ක්‍රියාවලියක් තුළ මාස 3ක් ඇතුළත ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණයෙන් සම්මේලනය සඳහා නිලධාරි මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කිරීම සුදුසු බවයි.

අභියාචනා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ විශ්‍රාමික සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ කේ.එස්. පීරිස් මහතාය. පරිපාලන සේවා විශ්‍රාමික නිලධාරි කේ.ජී. විජේසිරි හා විශ්‍රාමික සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ එන්.කේ. අබේසිංහ යන මහත්වරු එම කමිටුව නියෝජනය කළහ.

මෙතෙක් නිලවරණයේදී දිස්ත්‍රික් සංගම් වෙත ප්‍රදානය කෙරුණු ඡන්ද බලය අහෝසි කරමින් එම අවස්ථාව ක්‍රීඩා සමාජ වෙත ලබාදීමට ගෙන තිබෙන බව කියන තීරණය මල්ලවපොර සම්මේලනයේ ලේකම්වරයාගේ උවමනාවට ගත් තීන්දුවක් බවත්, එය සම්මේලනයේ මුල් ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව සිය විරෝධතාවය මගින් එම්.එම්. ලක්ෂ්මන් මහතා පෙන්වා දී තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ත්‍රිපුද්ගල අභියාචනා කමිටුවේ වාර්තාවේ පිටපතක් ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති නිලධාරි තැන මගින් ලබාගෙන තිබෙන ලක්ෂ්මන් මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කළ පැමිණිල්ලක් මගින් මල්ලවපොර සම්මේලනයේ ලේකම්වරයාට එරෙහිව මූල්‍ය චෝදනා කීපයක්ද ඉදිරිපත් කර තිබේ.

මල්ලවපොර ජාතික පුහුණුකරු පත් කිරීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදී තිබෙන නියෝග ප්‍රකාරව කටයුතු කර නැති බව දක්වන අභියාචනා කමිටුව, 2017/18 නිල කාලය සඳහා ජාතික තේරීම් කමිටුවක් පත් නොකිරීමෙන්ද 2017 වසරට අදාළ සම්මේලනයේ ගිණුම් වාර්තා 2019 පෙබරවාරි 8 වැනිදාට පෙර විගණනය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවට බාර නොදීමෙන්ද සම්මේලන ව්‍යවස්ථාව මෙන්ම ක්‍රීඩා පනතේ විධිවිධානයන්ද උල්ලංඝනය වී ඇතැයි ද වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම තත්ත්වයන් යටතේ ක්‍රීඩා පනතේ නියමයන්ට අනුකූලව ලිපිලේඛන ලබාගෙන මල්ලවපොර සම්මේලනයේ ව්‍යවස්ථාව ලියාපදිංචි කිරීම සුදුසු බවටත් අභියාචනා කමිටුව යෝජනා කරයි.

 


අදහස් (0)

මල්ලවපොර නියෝජිතයන් 20දා කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.