Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා මුල් පුටුවට පාලිත නිතරගයෙන් එයි

මලල ක්‍රීඩා මුල් පුටුවට පාලිත නිතරගයෙන් එයි

නාමල් පතිරගේ - 2021 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැයි 24 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී  සභාපති ධුරයට යළිත් විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා නිතරගයෙන් පත්ව සිටියි. වත්මන්  විධායක සභාවේ ලේකම් ධුරය හොබවන ප්‍රේම පින්නවල මහතාත්, භාණ්ඩාගාරික ධුරය දරන ශාන්ත ලාල් ද  සිල්වා මහතාත් එම ධුරයන් සඳහා නිතරගයෙන් පත්ව සිටිති.

මලල ක්‍රීඩා සංගමයේ වත්මන් විධායක සභාවේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික  යන ප්‍රධානතම ධුර සඳහා හිටපු නිලධාරීන්ම යළි පත්ව සිටින්නේ මැයි 24 වැනිදා පැවැත්වෙන මීළඟ නිලවරණය සඳහා එම ධුරවලට එකම නාමයෝජනාවක් වත් ඉදිරිපත් නොවීම හේතුවෙනි.  කෙසේ වුවත් උප සභාපති ධුර හතක් සඳහා නාමයෝජනා 14ක් ඉදිරිපත්ව  තිබේ.  ඒ අතර හිටපු සුපිරි ධාවන ශූරි දමයන්ති දර්ශා මහත්මිය ද සිය නාමයෝජනාව බාරදී තිබේ.

මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය මැයි 24 වැනිදා පෙරවරු 10ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. නාමයෝජනා විරෝධතා බාරගැනීම හා විභාග කර ප්‍රකාශයට පත් කිරීම මෙම 21  වැනිදා  සිදුකෙරේ.

මෙවර මලල ක්‍රීඩා නිලවරණයේදී අනුසංගම් හා ක්‍රීඩා සමාජ 39කට ඡන්ද බලය ප්‍රදානය කර තිබේ. මන්නාරම දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයට පමණක් එම අවස්ථාව අහිමිවී තිබේ.

මැයි 24 වැනිදා නිලවරණයෙන් පත්වන සහභාපතිවරයාගේ විශේෂ වැදගත්කම වන්නේ වසර 2022 පෙබරවාරි 18 වැනිදාට යෙදෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ශත සංවත්සරයේ ප්‍රධානත්වය ඔහුට හිමිවීමය. එම ශත සංවත්සර උත්සවය ලෝක මලල ක්‍රීඩා සභාපතිවරයාගේ සහභාගිත්වයෙන්  සැමරීමට ශ්‍රී  ලංකා  මලල ක්‍රීඩා සංගමය සූදානම් වේ.

නිතරග පත්වීමක් ලබන පාලිත ප්‍රනාන්දු මහතා මීට පෙර අවස්ථා ගණනාවකදීම මලල ක්‍රීඩා සංගමයේ  සභාපති ධුරය හොබවා තිබේ. ඔහු ඉඩම් හා වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයායි.


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයට ඉදිරිපත් වූ නාමයෝජනා:
♦ සභාපති ධුරයට:- මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා (ලංකා ලයන්ස්) නිතරගයෙන්.
♦ ප්‍රධාන ලේකම් ධුරයට:- ප්‍රේම පින්නවල මහතා (කෑගල්ල) නිතරගයෙන්.
♦ භාණ්ඩාගාරික ධුරයට:- එම්.කේ.ඩබ්ලිව්. ශාන්ත ලාල් ද සිල්වා මහතා (රාජ්‍ය සේවා) නිතරගයෙන්.
♦ උපසභාපති (තනතුරු 7 ක් සඳහා):- ප්‍රසන්න ඉන්දික (වෙළෙඳ සේවා), චන්දන ඒකනායක (මහනුවර), අයිරාංගනී රූපසිංහ (විශ්වවිද්‍යාල), අනිල් වීරසිංහ (පාසල්), ජී.එල්.එස්. පෙරේරා (ලංකා ලයන්ස්), ලාල් චන්ද්‍රකුමාර (කුරුණෑගල), ජගත් ඥානසිරි සිල්වා (කළුතර) ඒ.එච්. අක්මාල් (ත්‍රි’මලය), එච්.ඩබ්ලිව්. නිමලසිරි (කොළඹ), මේජර් ජනරාල් මහින්ද මුදලිගේ (ගාල්ල), මේජර් ජනරාල් නරේන්ද්‍ර රණසිංහ (යුද හමුදාව), එස්. තනුරාජ් (කිලිනොච්චිය), කේ.වී. දමයන්ති දර්ශා (ට්‍රැක් මාස්ටර්ස්), අජිත් නාරගල (රත්නපුරය)යන මහත්ම මහත්මීන්.
♦ උප ලේකම් ධුරයට:- පාලිත ජයතිලක (කෑගල්ල) හා වරුණ උඩවත්ත (වෙළෙඳ සේවා) යන මහත්වරු.
♦ උප භාණ්ඩාගාරික ධුරයට:- එම්.ඒ. උපාලි (ජනසතු සේවා) හා අමිල විජේකෝන් (වෙළෙඳ සේවා) යන මහත්වරු.

 


අදහස් (0)

මලල ක්‍රීඩා මුල් පුටුවට පාලිත නිතරගයෙන් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.