Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩකයන්ට – පුහුණුකරුවන්ට ප්‍රගති වාර්තාවක් අනිවාර්ය කරයි

මලල ක්‍රීඩකයන්ට – පුහුණුකරුවන්ට ප්‍රගති වාර්තාවක් අනිවාර්ය කරයි

නාමල් පතිරගේ - 2020 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික මලල  ක්‍රීඩා සංචිතයේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්  සහ පුහුණුකරුවන් සම්බන්ධයෙන් මාසිකව ප්‍රගති වාර්තාවක් ලබාදීම එම සංචිතයට මූල්‍යාධාර සපයන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අනිවාර්ය කර තිබේ. ජාතික ක්‍රීඩා සංචිතයක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෞද්ගලිකව සිය පුහුණුවීම් ප්‍රගතිය පිළිබඳව නිරීක්ෂණ වාර්තාවක් බැගින් ලබාදීමට නියම වන්නේ පළමු වතාවටය.

‘නේපාලයේ’ ‘කත්මන්ඩු’ නුවරදී පසුගිය දෙසැම්බර්  මාසයේදී පැවැති 13 වැනි සාග්  ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 27 දෙනකුගෙන් සමන්විත සුපිරි මලල ක්‍රීඩා සංචිතයේ දෛනික  පුහුණුවීම් මේ වනවිට ආරම්භ කර තිබේ.

සුපිරි මලල ක්‍රීඩා සංචිතයේ පෙර පුහුණුවීම් කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යාංශයේදී කැඳවා තිබුණි. එම සංචිතය අධීක්ෂණය කිරීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිංහ මහතාගෙන් සමන්විත 15 දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.

සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සඳහා ප්‍රගති වාර්තාවක් අනිවාර්යය කිරීම ගැන ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න මහතා පැවසුවේ එම දෙපාර්ශවය සඳහාම ක්‍රීඩා අමාත්‍යාංශය  දිමනාවක් ගෙවන බැවින් ඊට වටිනාකමක් එක් කිරීම සඳහා එම තීරණයට පැමිණි බවයි. ඒ යටතේ මලල ක්‍රීඩා පුහුණුකරුවන් 15 දෙනකු පමණ දීමනා ලබා ගැනීමට සුදුසුකම් සපුරා තිබේ.

මේ අතර ජාතික මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මේ දිනවල කොළඹින් පිට විශේෂ නේවාසික පුහුණු සැසිවාර කීපයකට සහභාගි වී සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ සේවය කරන  කෙන්යාවේ  හිටපු ජාතික  මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන ඩෑන්ස් විටෝ මහතා යටතේ වැඩිදුර ධාවන ඉසව් හි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අට දෙනෙකු මේ වනවිට  නුවරඑළියේ නේවාසික පුහුණුවීම් කරමින් සිටිති.

මලල ක්‍රීඩා ප්‍රවීනතම පුහුණුකරුවෙකු වන  සජිත් ජයලාල් මහතා යටතේ ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනෙකු මේ දිනවල නේවාසික පුහුණුවීම් ආරම්භ කර ඇත්තේ බොරලන්ද හා ගුරුතලාව ආශ්‍රිතවය.
රත්නපුරය දිස්ත්‍රික් මලල ක්‍රීඩා පුහුණුකරු රෝහිත ගුණරත්න මහතා යටතේ ජාතික මලල ක්‍රීඩා සංචිතයේ තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනකු  රන්තපුරය ඔහිය ප්‍රදේශයේ සිට පුහුණුවීම් හදාරමින් පසුවේ.
මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු, ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් එම පුහුණු කටයුතු නිරීක්ෂණය සඳහා නොබෝදා එම සියළු ප්‍රදේශවල නිරීක්ෂණ චාරිතාවක නිරත විය.

ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ශීත දේශගුණික තත්ත්වයන්ට හුරු කරමින් ඔවුන්ට දරාගැනීමේ ශක්තිය වර්ධනය කිරීම සඳහා කොළඹින් පිට මෙම නේවාසික පුහුණුවීම් කටයුතු සංවිධානය කර තිබෙන බවයි.

ලබන ඔක්තෝබර් 23, 24, 25 යන දිනවල සුගතදාස පිටියේදී මෙම වසරට නියමිත පළමු ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය පැවැත්වීමට නියමිතය.

ඒ අතර මලල ක්‍රීඩා සංගමය වැඩිදුරටත් තීරණය කර ඇත්තේ ලබන දෙසැම්බර් 5 - 6 දෙදින එම ක්‍රීඩාංගණයේදී 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය පැවැත්වීමටය.

මෙම තරග මාලාව කොවිඩ් සෞඛ්‍ය නිරෝධායන නීති රීති යටතේ පැවැත්වෙන බැවින් ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයන් සීමා කිරීමට මේ වනවිට තීරණය කර තිබේ.


අදහස් (0)

මලල ක්‍රීඩකයන්ට – පුහුණුකරුවන්ට ප්‍රගති වාර්තාවක් අනිවාර්ය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.