Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බේරුවල සුපර් සන් ක්‍රීඩා සමාජයට දඬුවම් වැලක්

බේරුවල සුපර් සන් ක්‍රීඩා සමාජයට දඬුවම් වැලක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිලධාරීන් හා ක්‍රීඩකයන් 10 දෙනකුට තහනමක් පැනවූ ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරග කමිටුව බේරුවල සුපර්සන් ක්‍රීඩා සමාජය මෙතැන් සිට එම සම්මේලනය මෙහෙයවන සියලු තරගාවලිවලින් ඉවත් කිරීමට ද නිර්දේශ කර තිබේ. ඒ අනුව ඔවුන් වසර 2019-2020 ශූරයන්ගේ ලීග් තරගාවලිය හා 2019 එෆ්.ඒ. කුසලාන තරගාවලියෙන් ද ඉවත් කර තිබේ.

සුපර් සන් ක්‍රීඩා සමාජයට පාපන්දු සම්මේලනය මෙහෙයවන තරගාවලි සඳහා නැවත ඇතුළත් විය හැක්කේ බේරුවල පාපන්දු ලීගය මෙහෙයවන ලීග් තරගාවලියට ක්‍රීඩා කර අනතුරුව පාපන්දු සම්මේලනය මෙහෙයවන දෙවැනි පෙළ අන්තර් සමාජ පාපන්දු තරගාවලියට නිර්දේශ වීමෙනි.

දැන් පැවැත්වෙන ශූරයන්ගේ ලීග පාපන්දු තරගාවලියේ රිනවුන් කණ්ඩායමට එරෙහිව සුගතදාස පිටියේදී පැවැති තරගයේදී විනිසුරු එම්. ජෆ්රාන් මහතාට එරෙහිව යාම පිළිබඳව බේරුවල සුපර්සන් ක්‍රීඩකයෝ චෝදනා ලැබූහ.

එහිදී තරගය අතරමගදී පිටියෙන් ඉවත් වූ බව කියන බේරුවල සුපර්සන් කණ්ඩායමට එරෙහිව පාපන්දු සම්මේලනයේ තරග කමිටුව පැවැත්වූ විමර්ශනයේ තීන්දුව ඊයේ (29) රාත්‍රියේදී ප්‍රකාශයට පත් කිරීමට පාපන්දු සම්මේලනයේ තරග කමිටුව පියවර ගත්තේය.

එහිදී චෝදනාලාභී සුපර්සන් ක්‍රීඩා සමාජයට දඬුවම් කිහිපයක්ම නිර්දේශ කර තිබේ.

තරග කමිටුවේ සභාපති සහරාන් සිංහවංශ මහතාගෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ අදාළ මතභේදාත්මක තරගයේ සජීවී පටිගත කිරීම ඇතුළත් වීඩියෝ පටය පුළුල් ලෙස විමර්ශනය කිරීමේදී සුපර්සන් කණ්ඩායම මුළුමණින්ම තරග නීති රීති උල්ලංඝනය කර තිබෙන බව තහවුරු කර ගත් බවය.

ඒ අනුව තරගාවලියට සහභාගී වී සිටින සෙසු ක්‍රීඩා සමාජවලට ද තරග නීති රීති හා විනය සම්බන්ධයෙන් පූර්වාදර්ශයක් ලබාදීම සඳහා තරග කමිටුව සුපර්සන් කණ්ඩායමට එරෙහිව දඬුවම් නිර්දේශ කළ බවත් සිංහවංශ මහතා වැඩිදුරටත් පැවැසීය.

සුපර්සන් කණ්ඩායම හා රිනවුන් කණ්ඩායම අතර සුගතදාස පිටියේදී පැවැති ශූරයන්ගේ ලීග් තරගයේ 70 වැනි විනාඩියේදී රිනවුන් කණ්ඩායම රැස් කළ ගෝලය පාපන්දු නීතියට පටහැනි (ඕෆ් සයිඞ් ගෝලයක්) යැයි කියමින් සුපර්සන් කණ්ඩායමේ ක්‍රීඩකයෝ විනිසුරු ජෆ්රාන් මහතාට දිගින් දිගටම අභියෝග කරමින් පිටියෙන් ඉවත්ව යාම මෙම සිදුවීමට හේතුව විය. එහිදී තරග කමිටුව විමර්ශනයේදී අවධාරණය කර සිටියේ කුමන තත්ත්වයක් මත වුව ද විනිසුරුට අභියෝග කිරීමත් තරගය අතහැර පිටියෙන් ඉවත්වීමත් පාපන්දු නීතියට හා තරගාවලියේ නීතියට මුළුමණින්ම පටහැනි බවත්ය.

ඒ අනුව චෝදනාලාභීන්ට උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට තරග කමිටුව දැඩිව තීරණය කළ බව සහරාන් සිංහවංශ මහතා අවධාරණය කරයි. 

 

මේ සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා අද (30) නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව චෝදනාලාභී බේරුවල සුපර්සන් ක්‍රීඩා සමාජයට නිර්දේශ කර තිබෙන දඬුවම් මෙසේය.

● ශූරයන්ගේ ලීග පාපන්දු තරගාවලියෙන් ඉවත් කිරීම එහිදී ඔවුන් ශුන්‍ය කරමින් තරගාවලියේ සමස්ත ප්‍රතිඵලය සැලකීම (මෙම සිදුවීම වාර්තාවන විට සුපර්සන් කණ්ඩායම ශූරයන්ගේ තරගාවලියේ තරග 13කට සහභාගී වී තරග හයක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 11 වැනි ස්ථානයේ පසුවිය.)

● පාපන්දු සම්මේලනය මෙහෙයවන ඉදිරි තරගමාලාවලින් සුපර්සන් ක්‍රීඩා සමාජය ඉවත් කිරීම.

● ශූරයන්ගේ තරගාවලිය වෙනුවෙන් පාපන්දු සම්මේලනය සුපර්සන් කණ්ඩායමට ලබා දුන් බව කියන රුපියල් ලක්ෂ දෙකක මුදල ඉදිරි දින 30ක කාලයක් තුළදී නැවත පාපන්දු සම්මේලනයට අයකරගැනීම.

● ක්‍රීඩා සමාජ සභාපති එම්.එස්.එම්. රිස්වාන්, ලේකම් එම්. රම්සාන්, ප්‍රධාන පුහුණුකරු වී. ඔගස්ටින් හා දැල් රකින්නන්ගේ පුහුණුකරු එන්.අයි.එම්. රිසාන් යන මහත්වරුන්ට වසර තුනක් බැගින් වන පරිදි පාපන්දු කළමනාකාරීත්වය හා පරිපාලනයේ යෙදීම තහනම් කිරීම.

● නයිජීරියානු ක්‍රීඩක ඔලුවා ටොසින් ඩැනියල්ට වසර තුනක තරග තහනමක් පැනවීම.

● මොහොමඞ් මුබාසිර්, එම්.එස්.එම්. අසාත්, එම්.එෆ්.එම්. රිෆ්කාන්, මොහොමඞ් හෆානි හා එම්.එස්.එම්. ෆසාන් යන ක්‍රීඩකයන්ට වසර දෙකක වන තරග තහනමක් පැනවීම.


අදහස් (0)

බේරුවල සුපර් සන් ක්‍රීඩා සමාජයට දඬුවම් වැලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.