Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බ්ලූස්ටාර් - නිව් යංග්ස් නැවතත් පිටියට

බ්ලූස්ටාර් - නිව් යංග්ස් නැවතත් පිටියට

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග කමිටුව සමග ඇතිකර ගෙන තිබූ මත ගැටුම් නිරාකරණය කර ගනිමින් කළුතර බ්ලූස්ටාර්ස් හා වෙන්නප්පුව නිව් යංග්ස් යන කණ්ඩායම් මෙම සති අන්තයේ සිට ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියට සහභාගිවීමට  තීරණය කර තිබේ.  ඒ අනුව මෙතෙක් අත්හිටුවා තිබූ වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායම හා කුරුණෑගල ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම අතර තරගයත්, කළුතර බ්ලුස්ටාර්ස්  කණ්ඩායමේ ඉතිරි තරග දෙකක්  ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර මේ වනවිට ශූරයන්ගේ ලීග් පාපන්දු  තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටින කළුතර බ්ලුස්ටාර්ස් කණ්ඩායමට සත්කාරක ක්‍රීඩාංගණයේ  පනවා තිබූ තරග තහනම ලිහිල් කිරීමට පාපන්දු සම්මේලනයේ තරග කමිටුව එකඟවී තිබේ. ඒ අනුව කළුතර  වර්නන් ප්‍රනාන්දු පිටියෙන් ඉවත් කළ තරගාවලියේ තරග තුනෙන් දෙකක් නැවැත එහිදීම පැවැත්වීම සඳහා තරග කමිටුවේ අනුමැතිය බ්ලුස්ටාර්ස් කණ්ඩායමට හිමිවී තිබේ.

ඒ සඳහා පනවන ලද කොන්දේසියක් වන්නේ එම තරග පවත්වන අවස්ථාවේදී පිටියේ ප්‍රේක්‍ෂකාගාරවල පමණක් නරඹන්නන් රැඳවිය යුතු බවයි.

කොළඹ කණ්ඩායම හා බ්ලුස්ටාර්ස් කණ්ඩයාම අතර වර්නන් ප්‍රනාන්දු පිටියේ පැවැත්වෙමින් තිබූ තරගය අතරමග අත්හිටුවීමට සිදුවූයේ එහි එළිමහනේ රැඳී සිටි නරඹන්නන් පිරිසක් පිටිය මැදට කඩා වැදී විනිසුරුට පහරදීමක් නිසාය. ඒ පිළිබඳව තරග කමිටුව කළ විමර්ශනයකින් පසුව එහි සත්කාරය දැරූ බ්ලුස්ටාර්ස් ක්‍රීඩා සමාජයට දඩ හා දඬුවම් පනවන ලදි.

එක් දඬුවමක් වූයේ සත්කාරක ක්‍රීඩාංගනයේ යොදාගෙන තිබූ තරගාවලියේ තරග දෙකක් ඔවුන්ට තහනම් කිරීමයි. ඉරිදා (6 වැනිදා) පැවැත්වීමට නියමිත ගුවන් හමුදා කණ්ඩායමට එරෙහි තරගය සඳහා කලින් යොදාගෙන තිබුණේද කළුතර වර්නන් ප්‍රනාන්දු පිටියමය.

මේ අතර තරගාවලියේ අලුත්ම ප්‍රසාද ලකුණු සටහනට අනුව ගියවර ශූරතාව දිනාගත් කොළඹ කණ්ඩායම හා යුද හමුදා කණ්ඩායම සම ප්‍රසාද ලකුණු (19 බැගින්) ලබා පළමු හා දෙවැනි ස්ථානවල පසුවේ. ඒ තරග අටකට බැගින් සහභාගිවී හයක් බැගින් ජය ගනිමිනි. ඔවුන් දෙපිලම එක් තරගයක් බැගින් පරාජයට පත්ව තිබේ.

මේ අතර පළමු පෙළ තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව හිමිකර ගනිමින් තරගාවලියට  අළුතින් ඇතුළත්වූ රත්නම් හා අළුත්ගම රෙඞ් ස්ටාර්ස් යන කණ්ඩායම් තරගාවලියේ වසර ගණනාවක්  පුරා රැඳී සිටින පළපුරුදු කණ්ඩායම් රැසක් අභිබවමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණි සිටීම කැපී පෙනේ. රත්නම් කණ්ඩායම තරගාවලියට එක්ව සිටින්නේ වසර කීපයකින් පසුවය.

මීට පෙර වසරවලදී ශූරතාව දිනා ගනිමින් දස්කම් දැක්වූ අනුරාධපුරය සොලිඞ්, මීගමුව යූත්, 2017 වසරේ එෆ්.ඒ. කුසලාන අනුශූරයන් වන ජාවාලේන් යන කණ්ඩායම් මෙවර මේ වනවිට පහළටම ඇදවැටුණු කණ්ඩායම් බවට පත්ව තිබේ.

 

 


අදහස් (0)

බ්ලූස්ටාර් - නිව් යංග්ස් නැවතත් පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.