Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බර ඉසිලීමේ - වූෂූ සංගම් පුහුණුව ඇරඹීමට සැරසෙයි

බර ඉසිලීමේ - වූෂූ සංගම් පුහුණුව ඇරඹීමට සැරසෙයි

editorial - 2020 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල්)

ලබන ජුනි 1 දා සිට පුහුණු කටයුතු ආරම්භ කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මගින් ජාතික ක්‍රීඩා සංගම් වෙතදී ඇති උපදෙස් අනුව එයට යහපත් ප්‍රතිචාර දක්වා ඇත්තේ ක්‍රීඩා සංගම් දෙකක් පමණක් බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.

මැයි 11 දා ක්‍රීඩා අමාත්‍යාංශය කේන්ද්‍ර කොටගෙන අමාත්‍යාංශ නිලධාරීන් සහ තෝරාගත් ජාතික ක්‍රීඩා සංගම් කීපයක ප්‍රධානීන් අතර අන්තර්ජාලය ඔස්සේ දුරකතන සම්මන්ත්‍රණයක් පවත්වා  තිබේ. එහිදී ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ සහ ශ්‍රී ලංකා වූෂු සංගමයේ නිලධාරීන් පමණක් ලබන ජුනි 1 දා සිට පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානම් බව අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.

මලල ක්‍රීඩා, පාපන්දු, කබඩි, වොලිබෝල් සහ දැල්පන්දු යන ජාතික ක්‍රීඩා සංගම් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ වෙනස් ආකාරයෙනි.   2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ සියලුම ජාත්‍යන්තර තරගාවලි කොරෝනා ව්‍යසනය හේතුවෙන් දින නියමයක් නැතිව කල් දමා ඇති හෙයින් පුහුණු කටයුතු ඇරඹීම සඳහා කඩිනම් අවශ්‍යතාවක් මෙතෙක් පැන නැගී නැති බව මලල ක්‍රීඩා, පාපන්දු, කබඩි, වොලිබෝල් සහ දැල්පන්දු සංගම් කියා තිබේ.

කෙසේ වෙතත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම සඳහා බොහෝ ජාතික සංගම්වල ජාතික පුහුණුකරුවන්  දැනටමත් අන්තර්ජාලය ඔස්සේ උපදෙස් දෙමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට සිය නිවෙස් වල සිටම එම කටයුතුවල යෙදීමට උපදෙස් දී ඇති බවද අමාත්‍යාංශය දැනුවත් කොට ඇත.. බර ඉසිලීමේ සහ වූෂු ක්‍රීඩා තාක්ෂණික ක්‍රම මත  ක්‍රියාත්මක වන හෙයින් හැකි ඉක්මනින් දෛනික පුහුණු කටයුතු ආරම්භ කිරීම සුදුසු බවත්, ඒ අනුව ලබන ජුනි 1 දා සිට පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානම් බවත් එම සංගම් නියෝජිතයන් ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම්දී තිබේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල තවමත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන හෙයින් සහ සෞඛ්‍යමය තත්ත්වයන් මත ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹට ගෙන්වා පුහුණු කටයුතු ආරම්භ කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන ඇතැම් ජාතික සංගම් නියෝජිතයෝ එහි අවදානම භාර ගැනීමට කිසිවෙකුත් සූදානම් නැති බවද පෙන්වා දෙති.

මේ අතර කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ඉන්දියාවේ කිසිදු මලල ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක 2020 වසර තුළ කිසිදු ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි නොකිරීමට ඉන්දියාව තීරණය  කර ඇත. ඉන්දීය මලල ක්‍රීඩා සංගමය ගෙන ඇති මෙම  තීරණය එහි සභාපතිවරයා විසින් තමාට ද ලිඛිතව දැනුම් දුන් බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.

ඉන්දියාවේ කිසිදු ජාතික මට්ටමේ ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක පුහුණුවීම් සඳහා නොකැඳවන අතර, පෞද්ගලික මට්ටමින් තනි තනියෙන් ශාරීරික යෝග්‍යතා ආරම්භ කිරීමට උපදෙස් දී තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ අනුව සෞඛ්‍යමය මාර්ගෝපදේශන  සකස් කොට කඩිනමින් දැනුම් දෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය එහි වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ට උපදෙස් දී තිබේ.  ගෘහස්ථ සහ එළිමහන් පුහුණුවීම් මෙන්ම සහ ජලය ආශ්‍රිත ක්‍රීඩා සඳහා වෙන වෙනම මාර්ගෝපදේශන සකස් කිරීමටත් උපදෙස් දී ඇත.

ක්‍රීඩා වෛද්‍ය ඒකකය පසුගිය සිකුරාදා වන විට එවන් මාර්ගෝපදේශන කිහිපයක් ක්‍රීඩා අමාත්‍යාංශයට භාරදී ඇති අතර, සෞඛ්‍යයට ප්‍රමුඛත්වයදී  එය සකස් කොට ඇති බව ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙක් සඳහන් කළේය.

දෛනික පුහුණුව පටන්ගැනීම අපහසු නම් ශාරීරික යෝග්‍යතා පුහුණුව ආරම්භ කළ යුතු වන අතර, එය සිදුකළ යුත්තේ ජාතික පුහුණුකරුගේ අධීක්ෂණයෙන් විය යුතු බවත්, හැකිතාක් දුරට පරතරය පවත්වා ගෙන පුහුණුවීම් කිරීම වැදගත් බව පෙන්වාදී තිබේ. මෙම සියලුම මාර්ගෝපදේශන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මක විය යුතුය.

කොරෝනා ව්‍යසනය  හේතුවෙන් ඉදිරියේදී බොහෝ ක්‍රීඩාවල තරග නීතිරීති පවා සෞඛ්‍ය ආරක්ෂාවට හිතකර පරිදි සංශෝධනය විය හැකි බව පෙන්වා දෙන ක්‍රීඩා වෛද්‍ය ඒකකය උදාහරණයක් ලෙස දැනට දකුණු කොරියාවේ ආරම්භ කර ඇති නරඹන්නන්ගෙන් තොර තරග සඳහා ක්‍රීඩාපිටිය තුළ කෙළ ගැසීම තහනම් කොට ඇති බවත් යම් විටෙකදී එසේ සිදුකළහොත් තරග විනිසුරුවරයාට ඔහු පිටියෙන් ඉවත් කිරීමේ බලය ද ලබාදී ඇති බවත් සඳහන් කරයි.

මෙරට පුහුණු සංචිත ජුනි 1 දා සිට ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය ඉතාමත් කාලෝචිත තීරණයක් බවත්, එය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම ජාතික සංගම් බලධාරීන්ගේ වගකීමක් බවත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ සඳහන් කරයි.

 


අදහස් (0)

බර ඉසිලීමේ - වූෂූ සංගම් පුහුණුව ඇරඹීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.