Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි සම්මේලනය අවුල් ජාලයක

පාපැදි සම්මේලනය අවුල් ජාලයක

නාමල් පතිරගේ - 2020 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගත තත්ත්වය පහව යමින් තිබෙන බැවින් පාපැදි සම්මේලනයේ අඩපණවී තිබෙන කටයුතු යළි ආරම්භ කිරීමේ වාතාවරණයක් ගොඩනැගී තිබෙන බව පාපැදි සම්මේලනයේ හිටපු උප සභාපතිවරයෙකුවන සුජිත් සමරතුංග මහතා එහි හිටපු සභාපති එන්. කරුණාරත්න මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. පාපැදි ක්‍රීඩකයන් සඳහා බලපත්‍ර නිකුත් කිරීම, පුහුණු සංචිත ආරම්භ කිරීම, වැඩමුළු සංවිධානය, ජාතික පාපැදි ශූරතා තරගාවලිය පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ඔහු පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

හිටපු උප සභාපතිවරයා එසේ ඉල්ලා සිටියද පාපැදි සම්මේලනයේ හිටපු සභාපති එන් කරුණාරත්න මහතා පැවසුවේ පාපැදි තරග ආරම්භ කිරීමේ වටපිටාවක් තවමත් රට තුළ නිර්මාණය වී නැති බවයි. ඒ හේතුවෙන් දේශීය පාපැදි තරග ආරම්භය තවදුරටත් ප්‍රමාදවිය හැකි බවත් ඔහු පැවසීය.

‘‘කොවිඩ් වසන්තයෙන් ගෝලීය අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. අන්තර්ජාතික පාපැදි සම්මේලනයත් මේ වනවිට ඔවුන්ගේ ජාත්‍යන්තර තරග ඉසව් අත්හිටුවා තිබෙනවා. බොහොම පැහැදිලියි අපට දේශීය තරග සංවිධානය කරන්න තවමත් වටපිටාවක් හැදිලා නෑ’’ යයිද කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

වසර 2018 සහ 2019 පාලන කාලය වෙනුවෙන් ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පාපැදි සම්මේලනයේ නිල කාලය මේ වන විටත් අවසන් වී තිබෙන බවත් හැකි ඉක්මනින් නිලවරණය කැඳවන ලෙසත්  ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රී ලංකා  පාපැදි සම්මේලනයට උපදෙස් දී තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයෙන් කළ විමසීමේදී දැනගත හැකිවූයේ සෑම ක්‍රීඩා සම්මේලනයක්ම පෙබරවාරි මස 28 වැනිදාට පෙර කලින් වර්ෂයේ ගිණුම් වාර්තා විගණනය සඳහා ඉදිරිපත් කළ යුතු බවත් එසේ ගිණුම් වාර්තා ඉදිරිපත් නොකරන්නේ නම් ජාතික ක්‍රීඩා සම්මේලනයක ලියාපදිංචිය සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් පැන නගින බවත්ය.

“සෑම වර්ෂයකම පෙබරවාරි 28 වැනිදාට ඉස්සරින් ගිණුම් වාර්තා විගණනයට ඉදිරිපත් කරන්න කියලා අපි ජාතික ක්‍රීඩා සංගම් වලට කියලා තියෙනවා. 2018 විගණන වාර්තාව ඉදිරිපත් කරන්න 2018 අගෝස්තු මාසය වෙනකම් අපි පාපැදි සම්මේලනයට කල්දුන්නා. 2019 ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන්න මේ අවුරුද්දේ ජූලි වෙනකම් කල්දුන්නා. ඒත් එවලා නෑ“

“ඉතින් ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්නේ නැත්නම් අපි මොනවා කරන්නද? ඒකෙන් වෙන්නේ ක්‍රීඩකයන් හෝ පුහුණුකරවන්ට කිසිම ආකාරයක දීමනාවක් දෙන්න ක්‍රීඩා අමාත්‍යංශයට අවස්ථාවක් නොලැබෙන එකයි“ යයි ක්‍රීඩා අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ ආර්. බී. වික්‍රමසිංහ මහතා ඊයේ (5 වැනිදා) ලංකාදීපට පැවසීය.

මේ මස31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් 25 ක් අතරට පාපැදි සම්මේලනයද ඇතුළත්ව තිබේ. එහෙත් පාපැදි සම්මේලනයේ නිලවරණය කැඳවීම සඳහා මෙතෙක් පියවර ගෙන නැත. එය කැඳවන්නේ නම් ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් වෙත අවම වශයෙන් දින 55 කට පෙර හෝ දැනුම්දිය යුතුව තිබේ.

ඒ පිළිබඳව මේ වනවිට ක්‍රීඩා සමාජ කිහිපයක්ම පාපැදි සම්මේලනයෙන් විමසීම් කර තිබේ. ඒ අතර ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ පාපැදි සම්මේලනයේ නිලවරණය මෙම 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු බවය.

පසුගිය පෙබරවාරියේ පැවැති ගුවන් හමුදා පාපැදි සවාරිය 2020 වසර සඳහා පාපැදි සම්මේලනය මෙහෙයවූ අවසන් තරගාවලියයි. පාපැදි සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට් මේ වනවිට ජාතික පාපැදි පුහුණුකරුගේ දීමනා ලබාදීම් හා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබිය යුතු මූල්‍යාධාර ගෙවීම්ද අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් මහ මැතිවරණයෙන් පසුව පත්වන නව ක්‍රීඩා ඇමැතිවරයා හා සාකච්ඡා කරමින් පාපැදි සම්මේලනයේ නිලවරණය කැඳවීමට කටයුතු කරන බව එහි හිටපු සභාපති අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා පැවසීය.

පසුගිය මාර්තු මාසයේ සිට පාපැදි සම්මේලනයේ කටයුතු ඇණහිට තිබේ. ඒ අතර පාපැදි සම්මේලනයේ වත්මන් නිල කාලය සම්බන්ධයෙන් එහි විධායක සභාව හා ක්‍රීඩා අමාත්‍යාංශය අතර මත ගැටුමක් ද හටගෙන තිබේ.

අවසන් වරට පැවැති නිලවරණයෙන් තමන් පත්වූයේ සිව් වසරක නිල කාලයක් සඳහා යයි පාපැදි සම්මේලනයේ වත්මන් විධායක සභාව ප්‍රකාශ කරයි. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ පාපැදි සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව විධායක සභාවේ පත්වීම් නිල කාලය දෙවසරකට පමණක් සීමාවන බවයි.

ක්‍රීඩා පනතට අනුව තමන්ට උපරිම සිව් වසරක කාලයක් දක්වා වත්මන් නිල කාලය පවත්වාගෙන යා හැකි යයි තර්කයක් ගෙන එමින් වත්මන් විධායක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයට එන්තරවාසියක් යැවීමටද කටයුතු කළේය.

 


අදහස් (0)

පාපැදි සම්මේලනය අවුල් ජාලයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.