Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි සම්මේලන නිලවරණයට අවසර ඉල්ලා ක්‍රීඩා සමාජ 5 කින් අභියාචනා

පාපැදි සම්මේලන නිලවරණයට අවසර ඉල්ලා ක්‍රීඩා සමාජ 5 කින් අභියාචනා

නාමල් පතිරගේ - 2021 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අප්‍රේල් 6 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයෙන්  ඉවත් කළ ක්‍රීඩා සමාජ පහක් සම්බන්ධයෙන් නැවත සිතා බලන ලෙස ඉල්ලා නිලවරණ කමිටුවට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, වරාය අධිකාරි හා දෙහිවල-ගල්කිස්ස මහනගර සභා යන ක්‍රීඩා සමාජ අභියාචනා ඉදිරිපත් කරමින් කියා සිටින්නේ දේශීය පාපැදි තරග මාලා සඳහා වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි කරවමින් මෙරට පාපැදි ක්‍රීඩා ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පුරා ක්‍රියාකාරීව කටයුතු කරන තම ක්‍රීඩා සමාජවලට නිලවරණය සඳහා සහභාගිවීමටත් එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමටත් අවස්ථාවක් සලසා දෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවැසුවේ එම අභියාචනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම නිලවරණ කමිටුවට අයත් කාර්යයක් බවයි.

කෙසේවුවත් නිලවරණ කමිටුවේ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට එම අභියාචනා ප්‍රතික්ෂේප කිරීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වේ. ඊට හේතුව මෙවර නිලවරණයෙන් තවත් ක්‍රීඩා සමාජ ගණනාවක්ම ඉවත් කර තිබීමත් ඔවුන්ද අභියාචනා ඉදිරිපත් කර සිටියහොත් ඒ පිළිබඳව ද සලකා බැලීමටද නිලවරණ කමිටුවට සිදුවන බැවිනි.

වරාය අධිකාරි ක්‍රීඩා සමාජයේ හිටපු ප්‍රධාන පාපැදි පුහුණුකරු බී.ජේ. සුමනසේකර මහතා පැවැසුවේ මින් පෙර ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය කැඳවන අවස්ථාවන්හිදී ක්‍රියාකාරී ක්‍රීඩා සමාජ නාමලේඛනයට මෙවර ඉවත් කර තිබෙන එම ක්‍රීඩා සමාජ ඇතුළත්ව තිබූ බවයි. කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමෙන් මෙවර පැවැත්වෙන නිලවරණය සඳහා සහභාගිවන ක්‍රීඩා සමාජ වෙතින් අයැදුම්පත් කැඳවීමක් සිදු වූ බවත් එහිදී මෙම ක්‍රීඩා සමාජ පුරුදු ක්‍රමයේ රැඳෙමින් ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කර නොසිටීම මෙම තත්ත්වයට හේතු වූ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

පාපැදි සම්මේලන නිලවරණයේදී ඡන්ද බලය හිමි ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් ගණන 36ක් දක්වා අඩු වී ඇතැයි ද වාර්තා වේ. ඒ නිලවරණයට අනුමත කරමින් නිකුත් වූ ඡන්ද හිමි නාමලේඛනයෙන් පසුව ක්‍රීඩා සමාජ තුනක් ඉවත් කිරීමය.

මෙම 24 වැනිදා දක්වා පාපැදි සම්මේලනයේ නිලවරණය සඳහා නාමයෝජනා භාරගැනීම සිදුවේ. තමන් සභාපති ධුරය දරන රත්නපුරය දිස්ත්‍රික් පාපැදි සංගමයේ පාර්ශ්වය ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීමේ චෝදනා මත මෙවර නිලවරණයෙන් ඉවත් කිරීමට එරෙහිව ඇන්තනී සීමන්ස් මහතා විසින් ද විරෝධතාවයක් ගොනුකර තිබේ.

පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, හිටපු පාපැදි ශූරී කුසලානි වික්‍රමරත්න, හිටපු පාපැදි ශූර බී.ජේ. සුමනසේකර, කොමදෝරු චන්දන රත්නායක හා මිල්ටන් පෙරේරා යන මහත්වරු මේ වනවිට සභාපති ධුරයට තරග කිරීමට සූදානම් වී ඇතැයි ද වාර්තා වේ.


අදහස් (0)

පාපැදි සම්මේලන නිලවරණයට අවසර ඉල්ලා ක්‍රීඩා සමාජ 5 කින් අභියාචනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.