Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි සංගම් 9කට නිලවරණය අහිමි කරයි

පාපැදි සංගම් 9කට නිලවරණය අහිමි කරයි

නාමල් පතිරගේ - 2021 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අප්‍රේල් 6 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයේදී මෙරට වැඩිම පාපැදි තරගකරුවන් පිරිසක් නියෝජනය කරන ක්‍රීඩා සමාජ බහුතරයකට නිලවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමිව තිබේ. එයිනුත් වඩාත් කැපී පෙනෙන්නේ එසේ නිලවරණය අහිමිව ඇත්තේ රාජ්‍ය ආයතන හා ආරක්ෂක හමුදා නියෝජනය කරන ක්‍රීඩා සමාජවීමයි.

ජාතික ශ්‍රේණිගත කිරීම් ලේඛනයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන්ගෙන් අති මහත් බහුතරය ඇතුළත් මෙම ක්‍රීඩා සමාජවලට මෙවර පාපැදි නිලවරණය අහිමිව ඇත්තේ ක්‍රියාකාරී ක්‍රීඩා සමාජ ලෙස නිලවරණ කමිටුවේ ලියාපදිංචි වීමට ඔවුන් දැක්වූ උදාසීනත්වය නිසා යයි වාර්තාවේ.
එය එසේ වුවත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සහතික ලත් ක්‍රීඩා සමාජ ලේඛනයේ නොමැති තවත් ක්‍රීඩා සමාජ හයකට ඡන්ද බලය ප්‍රදානයවී තිබේ.

මේ අතර මෙවර නිලවරණයේ දී පසුගිය වසර තුනක් දක්වා කිසිදු තරගාවලියක් සංවිධානය නොකළ එමෙන්ම කිසිදු ක්‍රීඩකයකු නොමැති ක්‍රීඩා සමාජ කීපයකට ද ඡන්ද බලය හිමිව ඇතැයි පාපැදි ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙරට ප්‍රධානතම දේශීය පාපැදි තරග මාලා සඳහා නිරන්තරයෙන් ක්‍රීඩකයන් සහභාගි කරවන යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක, වරාය අධිකාරිය හා දෙහිවල ගල්කිස්ස නගර සභා සහ රාජ්‍ය අංශය නියෝජනය කරන ක්‍රීඩා සමාජ මෙවර නිලවරණය සඳහා ලියාපදිංචිවී නැත. ශ්‍රී ලංකාවේ ප්‍රධානම පාපැදි තරග සඳහා තරගකරුවන් ඉදිරිපත් කරන කිරිබත්ගොඩ ද ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජය ද නියමිත දිනට තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමේ චෝදනා මත නිලවරණයේ දී ඡන්ද බලය අහිමි කරගෙන ඇත. ස්ටැෆන්ලි පිලිකෝ ක්‍රීඩා සමාජය ද නිලවරණය සඳහා ලියාපදිංචි වීම නැත.

අවසන් වරට මෙරට පැවති ප්‍රධානතම දේශීය පාපැදි තරග ඉසව්ව වන පසුගිය 2020 පෙබරවාරි මාසයේ පැවැති ගුවන් හමුදා පාපැදි සවාරියට සහභාගි වූ   බහුතරයක් තරගකරුවන් ඇතුළත් වූයේ නිලවරණය අහිමි වූ ඉහත සඳහන් ක්‍රීඩා සමාජ ගොන්නටය.

ගම්පහ, කළුතර හා රත්නපුරය යන දිස්ත්‍රික් පාපැදි සංගම්වලින් පාර්ශ්ව දෙකක් බැගින් නිලවරණය සඳහා හිමිකම් කීමට ඉදිරිපත් වුවත් ඡන්ද බලය ප්‍රදානය කර ඇත්තේ එම දිස්ත්‍රික්ක තුනේම එක් පාර්ශ්වයකට පමණි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පැවැති පාලනයේ (2017-20) තාක්ෂණික කමිටුව සකස් කළ ක්‍රීඩා සමාජ හා සංගම් 33කින් සමන්විත ලේඛනයක් නිලවරණය මෙහෙයවන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මාර්ගෝපදේශකයන් ලෙස යොමුකර තිබුණි.  කෙසේ වුවත් පුවත්පත් දැන්වීමක් මගින් කළ පළමු දැනුවත් කිරීමේ රැස්වීම සඳහා ක්‍රීඩා සමාජ හා සංගම් 50කට වැඩි ගණනක් සහභාගි වී තිබේ. 2017 පැවැති නිලවරණය සඳහා ක්‍රීඩා සමාජ හා සංගම් 42ක් සහභාගි වී තිබේ.

ඒ අනුව සුදුසුකම් පරීක්ෂාවට ලක්කළ ක්‍රීඩා සමාජ හා සංගම් 43ක්  අතරින් 38කට ඡන්ද බලය මෙවර හිමිව තිබේ. ඒ අතර මහනුවර දිස්ත්‍රික් සංගමයට ඡන්ද බලය අහිමිවීම පිළිබඳව නිලවරණ කමිටුව හේතු ලෙස දක්වා ඇත්තේ එහි නිලධාරීන්ගේ නොපැමිණීමයි.

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ පාපැදි සංගමයට ඡන්ද බලය ප්‍රදානය කිරීමට එරෙහිව අනුරාධපුරය දිස්ත්‍රික් සංගමය ඉදිරිපත් කළ විරෝධතාවය ද ඉවත දමා තිබේ. එහි සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ පාලන කාලයක් පවත්වා ගෙන ගිය බවට චෝදනා එල්ල වී තිබිණ. එම චෝදනාවම ලබා තහනමට ලක්ව සිටින ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු සභාපති අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති ධුරයෙන් හා අනුරාධපුර දීප්ති ක්‍රීඩා සමාජයෙන් ඉල්ලා අස්වීම පදනම් කර ගනිමින් මෙම විරෝධතාව ගොනුකර තිබුණි.

පාපැදි සම්මේලනයේ නිලවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම මෙම 24 වැනිදා දක්වා සිදු කෙරේ. නාම යෝජනා විරෝධතා බාර ගැනීම එදින සිට මාර්තු 3 වැනිදා දක්වා සිදු කෙරේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයේ දී (2021-24) ඡන්ද බලය ප්‍රදානය වූ දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ

♦ දිස්ත්‍රික් සංගම්:
ගාල්ල, කෑගල්ල, කොළඹ, රත්නපුරය, අනුරාධපුරය, මහනුවර, කළුතර, කුරුණෑගල, ගම්පහ

♦ ව්‍යවස්ථාපිත සංගම්:
ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ, ශ්‍රී ලංකා පාසල්

♦ ක්‍රීඩා සමාජ:
පයාගල සුපර්බේරු, දැරණියගල පා.සං, කෑගල්ල පා.ස, වරකාපොළ ස්ප්‍රින්ට් ස්පෝට්ස්, දෙහිවල වින්ග්වීල්, කුරුණෑගල රන්තරු, පොල්ගස්ඕවිට පහන්සිළු, රුවන්වැල්ල රන්මාල, කටුබැද්ද මැරීඩියන්ස් ස්පෝට්ස්, ජාඇළ ෆ්ලපින්විල්, සීදුව සම්පත් ක්‍රිෂාන්ත, පානදුර ස්පීඩ් ඇරෝස්, අනුරාධපුර රංජිත් අනුර, ගෝනවල ශ්‍රී එක්සත්, අනුරාධපුර ශාන්ති, මාකොල කින්තුරා, පොල්ගස්ඕවිට සදර්න්, අනුරාධපුරය දීප්ති, පිළියන්දල පැරගන් ෆෙඩ්ලස්, දඹුල්ල රන්ගිර, අම්බලන්ගොඩ ක්‍රී.ස, කුරුණෑගල, සුපර්වීල්ස්, අනුරාධපුරය ටුචිල්, රත්මලාන ගෝල්ඩන්, බෝමිරිය කැළණි, කටාන ප්‍රීඩම් රයිඩර්ස්, මඩම්පැල්ල ශාන්ත ජේම්ස්

 


අදහස් (0)

පාපැදි සංගම් 9කට නිලවරණය අහිමි කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.