Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි නිලධාරීන්ගෙන් පොලිසිය වත්කම් ප්‍රකාශන ඉල්ලයි

පාපැදි නිලධාරීන්ගෙන් පොලිසිය වත්කම් ප්‍රකාශන ඉල්ලයි

නාමල් පතිරගේ - 2020 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාග් ක්‍රීඩා උළෙලේ තරග පාවාදීමේ චෝදනාවට අදාළ විමර්ශන සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලධාරීන් සිවුදෙනකුගෙන් පොලිස් ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ විමර්ශන ඒකකය වත්කම් ප්‍රකාශන ඉල්ලා ඇතැයි වාර්තා වේ.

පසුගිය දෙසැම්බර් මාසයේ නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලියේ මවුන්ටන් - පිරිමි  ‘ඩවුන්හිල්’ (පල්ලම පැද යාම) ඉසව්වෙන් ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායම ඉවත් කරගැනීමට කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවේ පාපැදි බලධාරීන් තරග පාවාදීමේ කටයුත්තකට සම්බන්ධ වූයේ දැයි සෙවීම සඳහා මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

එවකට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය දැරූ ධම්මික මුතුගල හා ක්‍රීඩා අමාත්‍යාංශයේ පාපැදි ව්‍යාපෘති නිලධාරී ගාමිණී කොස්තා  යන මහත්වරුන් කළ පැමිණිල්ලකට අනුව පොලිස් ක්‍රීඩා වැරැදි විමර්ශන ඒකකය විසින් මෙම විමර්ශනය සිදු කරයි.

ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපැදි සම්මේලනයෙන් ප්‍රදානය කෙරුණු බව කියන පුහුණුවීම් සඳහා යොදා ගන්නා ‘වොට්’ වර්ගයේ පාපැදි දෙකක් එසේ ප්‍රදානය වීම මෙම සිදුවීමට සම්බන්ධ දැයි සෙවීමත් විමර්ශනයේ අරමුණකි.

කත්මණ්ඩු සාග් ක්‍රීඩා උළෙලේ සහභාගීත්වය සිදුවෙමින් තිබියදී එහි ගොස් සිටි ශ්‍රී ලංකා පාපැදි බලධාරීන්ට මෙම ‘වොට්’ පාපැදි දෙක බාරදී තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 2.5ක් පමණ වන බව ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී ක්‍රීඩා වැරැදි විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පැවැසුවේ විමර්ශන වාර්තාව නීතිපතිවරයාට බාරදීමෙන් පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කෙසේ වුවත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ප්‍රධානීන් මෙම සිදුවීම හාස්‍යයෙන් යුතුව බැහැර කරමින් පවසන්නේ කරුණු අනවබෝධයක් හා පාපැදි ක්‍රීඩා ඉසව් තරග සංවිධානය පිළිබඳව නිසි වැටහීමකින් තොරව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර පාපැදි සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පාපැදි බලධාරීන්ට තරග පාවාදීමේ චෝදනා නගමින් ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ල හෙළාදකිමින් අන්තර් ජාතික පාපැදි සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශයට ලිපියක් යොමුකර ඇති බවයි.

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලිය ‘ගොකර්තා’ නගරයේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව මාර්ග ධාවන හා මවුන්ටන් පාපැදි කාන්තා හා පිරිමි ඉසව් වෙතින් රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් හතරක් හිමි කරගත්තේය. එහිදී සත්කාරක නේපාලය හැරෙන්නට ඉන්දියාව රන් පදක්කම් හතරක් බැගින් සමව දිනා ගත්තේය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති, ලේකම්, සාග් ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමේ කළමනාකරු, සහාය කළමනාකරු සහ පුහුණුකරු යන නිලධාරීන්ගෙන් මෙම වත්කම් ප්‍රකාශන ඉල්ලා තිබේ.

මෙම සිදුවීම ගැන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ප්‍රකාශකයකු ‘ලංකාදීප’යට පැවැසුවේ බැලූ බැල්මටම තරග පාවාදීමේ කිසිදු ලක්‍ෂණයක් මෙම සිදුවීමේදී නොපෙන්වන බවත් එය පාපැදි සම්මේලනයේ ප්‍රධානීන් සමග කලක පටන් මතභේද ඇති කරගත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනකුගේ පෞද්ගලික වුවමනාවන්ට අනුව සිදුවූවක් බවත්ය.

අන්තර් ජාතික පාපැදි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය වුණු මෙම පුහුණු පාපැදි දෙක මෙතෙක් ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේ තබා තිබූ අතර එය මේ වනවිට පොලිස් ක්‍රීඩා විමර්ශන විශේෂ ඒකකය බාරයට ගෙන තිබේ.  

 


අදහස් (0)

පාපැදි නිලධාරීන්ගෙන් පොලිසිය වත්කම් ප්‍රකාශන ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.