Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රබල සෝන්ඩර්ස් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට

ප්‍රබල සෝන්ඩර්ස් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට

නාමල් පතිරගේ - 2020 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රසාද ලකුණු හතරක් පමණක් ලබා වැන්ටේජ් සභාපති කුසලාන ලීග් පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට මාවනැල්ල සෙරන්ඩිබ් කණ්ඩායම සමත්ව සිටියත් එම සම ප්‍රසාද ලකුණු ගණනම (4) ලබාගත් සෝන්ඩර්ස් කණ්ඩායමට එම අවස්ථාව අහිමිවීම තරගාවලියේ මෙතෙක් වාර්තා වූ විශේෂිතම සිදුවීම බවට පත්ව තිබේ.

එෆ්.ඒ. කුසලාන අනුශූරයන් ද වන සෝන්ඩර්ස් කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටය අහිමි වූයේ ඔවුන් මූලික වටයේ තරග වැදුණු ‘සී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව තෙවැනි ස්ථානයට පැමිණීම හේතුවෙනි.

කෙසේ වුවත් ‘සී’ කාණ්ඩයේ දෙවනුව මූලික වටයේ දී වැඩිම ප්‍රසාද ලකුණු ලැබූ මාවනැල්ල සෙරන්ඩිබ් කණ්ඩායම තරගාවලියේ අර්ධ අවසන් වටයට පිවිසීමට භාග්‍යය ලබා සිටින්නේ එහි තරග වැදුණු සී හෝක්ස් (නාවික හමුදා) කණ්ඩායම හා තියුණු සටනකින් පසු සම ලකුණු තත්ත්වයක් මැදය. එහිදී දෙපිලේම ප්‍රසාද ලකුණු ගණන සම වුවත් (4 බැගින්) ප්‍රතිවාදීන්ට එරෙහිව වැඩිම ගෝල ගණනක් ලැබීමේ වාසිය මත ප්‍රබල නාවික හමුදා කණ්ඩායම අභිබවමින් මාවනැල්ල ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ ඉදිරියට පැමිණ සිටිති.

සෝන්ඩර්ස් කණ්ඩායමට අභාග්‍ය සම්පන්න ලෙස තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය අහිමිව ගොස් තිබුණේ මූලික වටයේ ඔවුන් මුහුණ දුන් අවසන් තරගයේ දී බේරුවල සුපර්සන් කණ්ඩායමට එරෙහිව ගෝල 9-5ක දැවැන්ත ජයක් ලබා තිබියදීය.

එය මෙම තරගාවලියේ නිමාවට පත්වූ මූලික වටයේ තරගයක දී ප්‍රතිවාදීන්ට එරෙහිව කණ්ඩායමක් රැස් කළ වැඩිම ගෝල ගණනයි. එහෙත් කොළඹ ‘රෙඩ් ස්ටාර්’ කණ්ඩායමට ලද පරාජය (2-1) ඔවුන්ට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ තීරණාත්මක සාධකය බවට පත්කළ බව පෙනේ.

සෝන්ඩර්ස් ක්‍රීඩකයෝ ශූරයන්ගේ තරගාවලියේ ශූරයන් වන ප්‍රබල යුද හමුදා කණ්ඩායම සමග තරගය අවසන් කළේ ගෝල 2-2කට සම වෙමිනි.

ඒ අනුව සභාපති කුසලනා ලීග් තරගාවලියේ තරග 30කින්  සමන්විත වූ මූලික වටය අවසානයේ දී සමස්ත ප්‍රසාද ලකුණු සටහනට අනුව කාණ්ඩ ශූරයන් වන ජාවාලේන්, කොළඹ නිව් ස්ටාර්, ඩිෆෙන්ඩර්ස් (යුද හමුදාව), පොලිසිය, බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදාව) ද හොඳම කාණ්ඩ අනුශූරයන් ලෙස තේරුණු බේරුවල රෙඩ්ස්ටාර් (සී කාණ්ඩය), මාවනැල්ල සෙරන්ඩිබ් (ඩී කාණ්ඩය) හා කොළඹ ක්‍රී.ස. (ඊ කාණ්ඩය) ද ලබන ඉරිදා හා සඳුදා (23-24) සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් සපුරා තිබේ.

තරගාවලිය ආරම්භයේ පටන් ප්‍රබල කණ්ඩායම්වල කඩා වැටීම කැපී පෙනුණි.

බේරුවල රෙඩ්ස්ටාර් හා මාවනැල්ල සෙරන්ඩිබ් වැනි ප්‍රාදේශීය  පාපන්දු කණ්ඩායම් එහිදී පෙරමුණට පැමිණ තිබෙන අතර වෙන්නප්පුව නිව් යංග්ස්, නාවලපිටිය අප්කන්ට්‍රි, කළුතර බ්ලූස්ටාර්, රිනවුන්, සෝන්ඩර්ස්, රත්නම්, නාවික හමුදා යන ප්‍රබල කණ්ඩායම් මෙම ලීග් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට අපොහොසත්වී සිටිති.
ඒ අතර ප්‍රබලතම කණ්ඩායමක් වන කොළඹ කණ්ඩායම දෙවැනි වටයට ප්‍රවේශ වූයේ ඊ කාණ්ඩයේ දෙවැනි තැනට පත්වෙමිනි. තරගාවලියේ මූලික වටය පුරා ප්‍රතිවාදීන්ගෙන් වැඩිම ගෝල ගණනක් එල්ලවී ඇත්තේ බේරුවල සුපර්සන් කණ්ඩායමට එරෙහිවය. එය ගණනින් 15කි.

මූලික වටයේ කාණ්ඩ පහේ ශූරයන් අතරින් සිව් දෙනකුම අපරාජිතව පසුවන අතර ඩී කාණ්ඩයේ ශූරයන් වන පොලිස් කණ්ඩායම පමණක් එහිදී සී හෝක්ස් (නාවික හමුදා) කණ්ඩායම හමුවේ ගෝල 1-0කින් පරාජයට පත්විය.

මාතර සිටි, බේරුවල සුපර්සන්, ගම්පොල ක්‍රිස්ටල් පැලස් මූලික වටය පුරා කිසිදු තරගයක් ජය ගැනීමට සමත්ව නැත. මොරගස්මුල්ල යූත්, ගමනාගමන සහ ශූරයන්ගේ තරගාවලියේ ක්‍රීඩා නොකරන කණ්ඩායම් ප්‍රබල කණ්ඩායම්වලට එරෙහිව තරග ජයග්‍රහණය කිරීම ද කුසලාන දිනා ගැනීම දෙවැනි තැනට තබා පැවැත්වෙන මෙම තරගාවලියේ තවත් කැපී පෙනෙන්නකි.
තරගාවලිය දින 22ක් වැනි කාලකින් පවත්වා අවසන් කිරීම පාපන්දු සම්මේලනයේ මූලික අරමුණවී ඇත්තේ ජාතික සංචිතයට දක්ෂතා හෙබි නවකයන් හඳුනා ගැනීමයි.

මෙතැන් සිට තරගාවලියේ සියලු තරග කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වේ. ඒ අනුව අවසන් පූර්ව තරග වටය මෙම 27 වැනිදාත් අවසන් තරගය මෙම 31 වැනිදාත් එහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි සියලු කණ්ඩායම් සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් ද අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතරට තවත් රුපියල් ලක්ෂ දෙකක් බැගින් ද වියදම් මුදලක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් ප්‍රදානය කෙරේ.

ඒ අනුව තරගාවලියේ ශූරතාව දිනා ගැනීම දක්වා පැමිණෙන කණ්ඩායමට රුපියල් ලක්ෂ 18ක් හා අනුශූරයන් වන කණ්ඩායමට රුපියල් ලක්ෂ 15ක් ද වන පරිදි මුළු තරගාවලිය පුරා ගෙවීම් කර තිබේ. මූලික වටයට සහභාගි වූ කණ්ඩායම් 20 සඳහාම රුපියල් ලක්ෂ නවයක් බැගින් හා පිට පළාත් කණ්ඩායම් සඳහා විශේෂ ප්‍රවාහන දීමනාවක් බැගින් ගෙවීමට ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කර තිබේ.

තරග නරඹන්නන්ට මෙතෙක් පනවා තිබූ දැඩි සීමා ලිහිල් කිරීමට පාපන්දු සම්මේලනය මේ වනවිට තීරණය කර තිබේ. පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ඒ පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමක දී පැවසුවේ මුඛ ආවරණ අනිවාර්යයෙන් පැළඳ දුරස්ථභාවය රැකෙන පරිදි නරඹන්නන් සීමිත පිරිසකට මෙතැන් සිට තරග නැරඹීමේ තහනමක් නැති බවයි.

වැන්ටේජ් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය පැවැත්වෙන ආකාරය (පාපන්දු සම්මේලනයේ නිල කාල සටහනට අනුවයි)

(අගෝස්තු 23)
♦ පස්වරු 4ට – ජාවාලේන් - ඩිෆෙන්ඩර්ස් (යුද හමුදාව) අතර
♦ රාත්‍රී 7ට – බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදා) - කොළඹ නිව් ස්ටාර් අතර

(අගෝස්තු 24)
♦ පස්වරු 4ට – කොළඹ ක්‍රී.ස. - පොලිස් අතර
♦ රාත්‍රී 7ට – බේරුවල රෙඩ්ස්ටාර් - මාවනැල්ල සෙරන්ඩිබ් අතර

(සියලු තරග කොළඹ සුගතදාස පිටියේ දී) 


අදහස් (0)

ප්‍රබල සෝන්ඩර්ස් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.