Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නීතිපති උපදෙස් අනුව අතීතයට බලපාන වැරදි ගැනත් අපට පරීක්ෂණ කළ හැකියි

නීතිපති උපදෙස් අනුව අතීතයට බලපාන වැරදි ගැනත් අපට පරීක්ෂණ කළ හැකියි

නාමල් පතිරගේ - 2020 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නීතිපතිවරයා උපදෙස් දෙන්නේ නම් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට අතීතයට බලපාන වැරදි සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යාමේ හැකියාව පවතින බව එම ඒකකයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පවසයි.

‘ලංකාදිප’ කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ සඳහා සිය ඒකකයට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 වගන්තිය යටතේ බලතල පැවරී තිබෙන බවයි. 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටත් වන වරදක් සම්බන්ධයෙන් විමර්ශන බලතල සහිත එම විශේෂ විමර්ශන ඒකකය ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්‍ෂණයෙන් විවෘත වූයේ 2020 පෙබරවාරි 11 වැනිදාය. එදින පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමකදී ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා පැවසුවේ නව පනත අතීතයට බලනොපාන බවයි.

එම පනත පාර්ලිමේතුවේදී සම්මත වූ වසර 2019 නොවැම්බර් 18 වැනිදා සිට එය බලපැවැත්වෙන බව ද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් පාවාදීමක් සිදුවූ බවට එවකට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයක් ඔස්සේ ක්‍රීඩා වැරදි සෙවීමේ විමර්ශන ඒකකය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සිදුවීම අතීතයට බලාපාන්නක් වන බැවින් ඒ සම්බන්ධයෙන් දැන් පැවැත්වෙන විමර්ශන කොතරම් දුරට ප්‍රායෝගික වේද යන්න පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා කළ ආන්දෝලාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපට විමර්ශනයක් කරන්න නියම කළේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයායි. මෙය තරග පාවාදීම සම්බන්ධයෙන් කළ බරපතළ ප්‍රකාශයක් වන බැවින් විමර්ශන ආරම්භ කරන්න පෙර අප නීතිපතිවරයාගෙන් මෙන්ම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන්ද උපදෙස් ලබා ගත්තා.

ඒ අනුව ඔවුන් අපට විමර්ශනය කරන්න අනුමැතිය දුන්නා. මේ විමර්ශන අප කරන්නේ අපරාධ නඩු විධිවිධාන පනත අනුවයි. අපි කරන්නේ විමර්ශනයක් පමණයි. එයින් පැන නැගෙන කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියා මාර්ග තීරණය කරන්නේ රජයේ නීතිපතිවරයායි.

එවැනි අවස්ථාවකදී වගඋත්තරකරුවන් වන අයට එරෙහිව නඩු පවරන්නේද නැතහොත් වෙනයම් නීති ක්‍රියාමාර්ගයකට යන්නේද පිළිබඳව තීරණය කරන්නේත් නීතිපතිවරයා විසින්මයි.’’

 


අදහස් (0)

නීතිපති උපදෙස් අනුව අතීතයට බලපාන වැරදි ගැනත් අපට පරීක්ෂණ කළ හැකියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.