Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිවැරදි අය තෝරා ගත්තේ දුෂ්කර ක්‍රියාවලියකින්

නිවැරදි අය තෝරා ගත්තේ දුෂ්කර ක්‍රියාවලියකින්

editorial - 2020 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ට රුපියල් 20,000 ක් බැගින් වූ ආධාර බෙදා දීම සඳහා තේරීම් කරනු ලබන අවස්ථාවේදී පුහුණුකරුවන් විසින් විවිධ සාවද්‍ය තොරතුරු සපයා තිබූ බවත්, ඉතා දුෂ්කර ක්‍රියාවලියකින් පසුව නිවැරදි පුද්ගලයන් තෝරා ගැනීමට තම සංගමයට සිදුවූ බවත් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය කියා සිටී. එබැවින් රුපියල් 20,000 ආධාර දීමනාව ලැබීමට සුදුසු පුහුණුකරුවන්ගේ ලේඛනය විවිධ අවස්ථාවන්හිදී වෙනස් කිරීමට සිදුවූ බවත්, අවසානයේදී එක් එක් පුහුණුකරුවන්ගේ තොරතුරු විදුහල්පතිවරුන් හෝ විදුහල්පතිවරියන් වෙතින් ලිඛිතව සනාථ කර ගැනීමටද සිදුවූ බවත් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය දන්වා සිටී.

“පාසල් ක්‍රිකට් නිලධාරීහු පුහුනුකරුවන්ගේ මුදල් කප්පාදුවට සැරසෙති“ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කරුණු පහදමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මේ බව දන්වා සිටී. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත් මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය එවා තිබේ.

පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයාගේ ලිපියේ මෙසේ සටහන් වෙයි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සාමාජිකත්වය දරන 600 කට අධික පාසල් සංඛ්‍යාවක ක්‍රිකට් පුහුණුකරුවන් ලෙස කටයුතු කළ 1500 කට ආසන්න පිරිසක් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි අසරණ තත්ත්වයට පත්වූහ.  ඇතිවූ තත්ත්වය හමුවේ 2020 මාර්තු මස සිට අදාළ පුහුණුකරුවන්ගේ දීමනා ගෙවීම සම්බන්ධයෙන් අපගේ සමාජික පාසල් වලට විවිධ අපහසුතා මතුවිය. ඒ හේතුවෙන් බොහෝ පුහුණුකරුවෝ කිසිදු ගෙවීමක් නොලැබෙන තත්ත්වයට පත්ව සිටියහ.

මේ පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් පුහුණුකරුවන් පිරිසක් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයෙන් යම් මැදිහත්වීමක් සිදුකිරීමට හැකියාවක් ඇත්දැයි විමසූහ. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරින්ද මේ වසංගත තත්ත්වය හමුවේ කළහැක්කේ කුමක්දැයි සිතාගත නොහැකිව සිටි අවස්ථාවක, අපහසුවට පත්ව ඇති පුහුණුකරුවන් පිළිබඳව අප දුරකථන මගින් යම් සාකච්ඡාවක නිරතවූහ. එහි ප්‍රතිඵලයක් ලෙස පුහුණුකරුවන් පිළිබඳව තොරතුරු රැස් කිරීමට අප සංගමය  කටයුතු කළේය.  2020 අප්‍රේල් මස 17 වැනි දින සංගමයේ අනු දැනුම මත, සංගමයේ විධායක කමිටු සාමාජිකයන් මගින්ද, මුහුණුපොත හරහා ද එම තොරතුරු රැස් කිරීම සම්බන්ධව ක්‍රිකට් පුහුණුකරුවන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

ඔවුන්ගේ තොරතුරු ලබාගැනීමේදී පාසල් ක්‍රිකට් සංගමය විසින් නිර්නායක ලෙස මේ වනවිට පුහුණුකරුවකු ලෙස ලබන ආදායම හැර ඔහුට හෝ ඔහුගේ කාලයාත්‍රයාටද ස්ථිර ආදායමක් නොලැබෙන අති දුෂ්කරතාවයට පත්ව ඇති පුහුණුකරුවන්ගේ ජීවත්වීමට ආධාරයක් ලබා දීම සඳහාම පමණක් අරමුණු කරගත් අතර ඔවුන් පාසලක ක්‍රිකට් පුහුණුකරුවකු වීම පමණක්ම සුදුසුකම ලෙස (පුහුණු සහතික මට්ටම් නොසලකා හැර) සලකා බලන ලදී. මෙම සියලු තොරතුරු එක් රැස් කරගන්නා ලද්දේ මුළු දිවයිනටම ඇඳිරිනීතිය පනවන ලද කාලසීමාවකදී බැවින් මෙම තොරතුරු තහවුරු කර ගැනීමේ කිසිදු ක්‍රමවේදයක් ඒ වනවිට නොතිබිණි.

අපගේ දැනුම් දීමට අනුව පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් 198 දෙනෙකු මැයි මස 03 වන දින වන විට කිසියම් දීමනාවත් ලබාදෙන ලෙස ඉල්ලා ඉල්ලුම්පත් යොමු කර තිබිණ.  එබැවින් පුහුණුකරුවන් විසින් සැපයූ තොරතුරු සත්‍ය යයි සලකා අප වෙත ආධාර ඉල්ලුම් කර තිබූ 198 දෙනෙකුගෙන් සමන්විත  පුහුණුකරුවන්ගේ නාම ලේඛණයක්ද ක්‍රීඩා, යොවුන් කටයුතු හා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාටත් යොමු කර ඔවුන් සඳහා කිසියම් හෝ ආධාර වැඩ පිළිවෙළක් සලසා දෙන මෙන් ඉල්ලා සිටියේය.  මෙම 198 දෙනාට අමතරව තවත් පිරිසක් ඉදිරියේදී ඉදිරිපත් විය හැකි යැයි යන බලාපොරොත්තුවෙන් 225 දෙනෙකු වෙත මෙම සහනය ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලීම් කරන ලදී.

ඒ ඉල්ලීම අනුව පුහුණුකරුවන් 225 දෙනෙකු සඳහා රු. 20,000/- ක් බැගින් දීමනාවක් ලබා දීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේද අනුමැතියෙන් අපවෙත දැනුම් දෙනලදී.

ඒ අනුව ගෙවීම් සඳහා හිමිකම් ලබන අයගේ නිවැරදි නාමලේඛනයක්, ඔවුන්ගේ බැංකු ගිණුම් විස්තරද සමග ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අප වෙත දැනුම් දුන් අතර මෙම ප්‍රදානය කිරීමේ අවස්ථාව 2020 ජූනි මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු කරන ලෙසත් දැනුම් දෙන ලදී. නමුත් මෙම තොරතුර මාධ්‍ය මගින් දැනුවත් වීමත් සමග මුලදී මේ සඳහා ඉල්ලුම් නොකළ විශාල පුහුණුකරුවෝ සංඛ්‍යාවක් අප වෙත අයදුම්පත් දිගින් දිගටම යොමු කළහ. ඒ අනුව 225 දෙනෙකු තෝරා ගැනීම දැඩි සංකීර්ණ හා අති දුෂ්කර කාර්යයක් විය.

ඒ අනුව මුල් වටයේ ප්‍රදානය කරන පිරිස තෝරා ගැනීම පහත නිර්නායක මත සිදුකිරීමට තීන්දු විය. ඒ මුලින් අයදුම්පත් කැඳවන අවස්ථාවේ ලබා දුන් නිර්නායක පමණක් පදනම් කරගනිමිනි.
එම නිර්ණායක වූයේ...

1. මුලින් 198 දෙනාගේ ලේඛනයේ ඇතුළත්ව සිටි අයෙකුවීම
2. 2020 මාර්තු/ අප්‍රේල් මාස සඳහා පුහුණුකරුවෙකු ලෙස පාසලෙන් හෝ වෙනත් කිසිදු ආයතනයක් මගින් කිසිදු මුදලක් ලබා නොතිබිම.
3. කාලයාත්‍රයා විසින් කරනු ලබන රැකියාවකින් ස්ථිර ආදායමක් නොලැබීම.
4. අදාළ පුහුණුකරු වෙනත් රැකියාවක් මගින් කිසිදු වේතනයක් ලබා නොතිබීම.

මෙම නිර්ණායක අනුව මේ වන විට පුහුණුකරුවන් 125 දෙනෙකුට රු. 20,000 බැගින් ඔවුන්ගේ ගිණුම් වෙත ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මගින් සෘජුවම බැරකර ඇතත්, අදාළ ප්‍රවෘත්තියේ සඳහන් රුපියල් ලක්ෂ 45 ක මුදල කිසිදු අයුරකින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ගිණුමකට බැර කරන ලෙස පාසල් ක්‍රිකට් සංගමය විසින් කිසිදු ඉල්ලීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කර නොමැත.

පාසල් පුහුණුකරුවන්ට මේ වන විට ගෙවා නොමැතිව, ඉතිරි මුදල්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වල පවතින බවද පවසන පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා පුහුණුකරුවන් වෙත ඉතිරි මුදල් ගෙවීමට කටයුතු කරනුයේ මීට කලින් අනුගමනය කරන ලද ඉහත කී නිර්ණායක වලට වඩා වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් පසුව බවත්, එය අදාළ විදුහල්පතිවරුන්ගෙන් ලිඛිතව ලබා ගත් තොරතුරු පදනම් කරගනිමින් කෙරෙන බවත් සිය ලිපියෙන් කියා සිටී.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ විධායක කමිටු සාමාජිකයන්ගේද සහාය ඇතිව පුහුණුකරුවන්ගේ නිවැරදි තොරතුරු ලබා ගත් විගසම ඉතිරි මුදල් ගෙවන බවත් ලේකම්වරයා අවධාරණය කරයි.


අදහස් (0)

නිවැරදි අය තෝරා ගත්තේ දුෂ්කර ක්‍රියාවලියකින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.