Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිමුත්ට තරග මුදලින් සියයට 40ක දඩයක්

දිමුත්ට තරග මුදලින් සියයට 40ක දඩයක්

editorial - 2019 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, එංගලන්තයේ ලීඞ්ස් සිට..)

එංගලන්තයේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ඩර්හැම්හිදී පසුගිය සඳුදා (1 වැනිදා) පැවැති තරගයේදී නියමිත කාලයට ඕවර සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් දෙපිලේ නායකයන් වන දිමුත් කරුණාරත්න සහ ජේසන් හෝල්ඩර්ට දඩ පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

එම චෝදනාව මත නායකයන් දෙපළට එම තරගයේ තරග මුදලින් 40% බැගින් දඩයක් ද, දෙපිලේ ක්‍රීඩකයන්ට තරග මුදලින් 20% බැගින් දඩයක් ද, පැනවූ බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පෙරේදා (2 වැනිදා) රාත්‍රී නිවේදනය කළේය.

දෙපිලේ නායකයන් මෙතැන් සිට මාස 12 ක් තුළ නැවතත් නියමිත කාලය තුළ ඕවර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරීමේ චෝදනාවට වැරදිකරුවන් වුවහොත් තරග තහනමක් පැනවේ. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී එක්දින පිලේ නායකත්වයට පත්වූ දිමුත් කරුණාරත්න මෙම චෝදනාවට වැරදිකරු වූ පළමු අවස්ථාව මෙය වේ.

මෙහිදී දෙපිලම ඕවර 50 සම්පූර්ණ කිරීමට ලැබෙන කාලයෙන් පසුව ඕවර දෙක බැගින් යවා තිබේ.   
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීති රීති මාලාවට අනුව නියමිත කාලයට පසුව සම්පූර්ණ කරන ඕවරයකට ක්‍රීඩකයකුට තරග මුදලින් 10% බැගින් ද, නායකයාට දෙගුණයක් ද, ලෙස දඩ නියම වේ.

ශ්‍රී ලංකාව ලකුණු 23 කින් ජය ලැබූ මෙම තරගය නියමිත වේලාවට වඩා මිනිත්තු 45 ක් පමණ එනම් රාත්‍රී 7.00 හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30 ට අවසන් විය.

දෙවැනි වර පන්දුවට පහර දුන් කොදෙව් ඉනිමේ 40 වැනි ඕවරය අවසන් වන විට ශ්‍රී ලංකා පිල ඕවර දෙකක් පසු පසින් සිටි අතර ඒ පිළිබඳව අවබෝධයෙන් සිටි ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දු යැවීමෙන් අනතුරුව නැවත පන්දු යැවීමේ සීමාවට දුවන ආකාරය දැකගත හැකි විය. ඉසුරු උදාන ඔහු යැවූ අවසන් ඕවර දෙකේදී නිරන්තයෙන් පන්දුවක් යැවීමෙන් පසුව අනෙක් පන්දුව යැවීමට නැවත සීමාවට දිවීම කළේය.
පළමුව පන්දු යැවූ කොදෙව් පිල ද ඕවර දෙකක ප්‍රමාදයක පසුවීම නිසා දෙවැනි ඉනිම ආරම්භ කිරීම විනාඩි 15 ක් පමණ ප්‍රමාද විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 338 ක් රැස් කළ අතර කොදෙව් පිල ලකුණු 315 ක් ලබාගත්තේය.

මෙම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ ඬේවිඞ් බූන් මහතා මෙම දඩය පනවා තිබේ.  

එංගලන්තයේ එම කාලයේ පවතින කාලගුණය අනුව රාත්‍රී 7.00 පමණ වන තෙක් තරගයක් පැවැත්විය හැකි ඉතාමත් හොඳ ආලෝකයක් පවතින අතර පස්වරු 9.30 පමණ වන තෙක් දහවලට සමාන ආලෝකයක් පවතී.   
 

 


අදහස් (0)

දිමුත්ට තරග මුදලින් සියයට 40ක දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.