Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු නිලවරණයට ඉදිරිපත් වූ විරෝධතා විභාග කෙරේ

දැල්පන්දු නිලවරණයට ඉදිරිපත් වූ විරෝධතා විභාග කෙරේ

නාමල් පතිරගේ - 2020 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ (2020-22) නිලවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවන්ට එරෙහිව ගොනු කර තිබෙන විරෝධතා විභාග කිරීම ඊයේ (30) පෙරවරු 10ට ටොරින්ටන් දැල්පන්දු සම්මේලන මූලස්ථානයේ දී සිදු කෙරිණි. දැල්පන්දු නිලවරණ කමිටුවේ සභාපති, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බිමල් නම්බුවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විරෝධතා විභාගයට ගැනිණි.

දැල්පන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන අගෝස්තු 29 වැනිදා පෙරවරු 10ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදීය.

මෙවර නිලවරණයේ දී සභාපතිධුරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය ඇතුළු තනතුරු සඳහා නාමයෝජනා ගොනු කළ අපේක්ෂිකාවන් බහුතරයකට එරෙහිව රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය ගොනු කළ විරෝධතා හෙට විභාගයට ගැනීමට නියමිතය.

දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියක් වන ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය විසින් එම විරෝධතා නිලවරණ කමිටුවට යොමුකර තිබේ. ඒ පිළිබඳව ඇය ලංකාදීපය කළ විමසුමක දී පැවසුවේ නීතියට පටහැනිව සිදුවන ක්‍රියා තුළින් රටේ දැල්පන්දු පරිපාලනයට පමණක් නොව දැල්පන්දු ක්‍රීඩාවටද හානියක් ගෙන දෙන බැවින් සෙසු දැල්පන්දු අනුසංගම් රැසකගේ ද එකඟතාවයෙන් තවත් විරෝධතා වෙනුවෙන් පෙනී සිටින බවයි.

ඒ අනුව මෙවර සභාපතිධුරයට නාමයෝජනා ඉදිරිපත් කළ ලක්ෂ්මී වික්ටොරියා මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ තහනමට ලක් වූ බව කියන දැල්පන්දු පරිපාලනයක් තුළ නියෝජ්‍ය සහභාපතිනිය ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඇයට ක්‍රීඩා පනතේ රෙගුලාසිවලට අනුව නැවත දැල්පන්දු පරිපාලනයේ තනතුරු දැරිය නොහැකි යයි යන කරුණ පාදක කර ගනිමින් ඇයට එරෙහිව විරෝධතාවය ගොනුකර තිබේ.

ලේකම් ධුරයට යළිත් තරග වදින චම්පා ගුණවර්ධන මහත්මිය ගිණුම් වාර්තා ප්‍රතික්ෂේප වූ දැල්පන්දු සම්මේලනයේ නිල කාලයක් තුළ පදවි දරා තිබෙන බව ඇය විසින්ම නිලවරණ කමිටු දෙකක දී පිළිගෙන ඇති බැවින් ඇගේ මෙවර නාමයෝජනාවක් ක්‍රීඩා නීතියට පටහැනි බව ඇයට එරෙහිව ගොනුකළ විරෝධතාවයෙන් චෝදනා නගා තිබේ.

එහිදී උප ලේකම් ධුරය සඳහා යොමු වූ නාමයෝජනා තුනකට ද විරෝධතා පළ වී තිබේ. ඊ.ඒ.කේ. හිමාලි හා සුමිත්‍රා වනසිංහ යන මහත්මියට එරෙහිව එම විරෝධතා ගොනු වී තිබේ. හිමාලි මහත්මිය තනතුරු දෙකකට නාමයෝජනා බාරදීමෙන් දැල්පන්දු සම්මේලන ව්‍යවස්ථාව කඩ කර ඇතැයි ද වනසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවය කරන්නියක් බැවින් එය ක්‍රීඩා පනතට පටහැනි බවට ද විරෝධතා මගින් චෝදනා නැඟේ.

ඒ අතර මෙවර ලේකම් ධුරයට හා උප සභාපති ධුරයකට එකවර නාමයෝජනා බාරදීමෙන් වජිරා පුෂ්‍පකුමාරි මහත්මිය ද සම්මේලන ව්‍යවස්ථාව කඩ කර ඇතැයි ඇගේ නාමයෝජනාවට එරෙහිව ගොනු කළ විරෝධතාවයෙන් කියවේ. පුෂ්පකුමාරි මහත්මිය දැල්පන්දු සම්මේලනයේ හිටපු උප සභාපතිනියකි.

නියෝජ්‍ය සභාපතිධුරයට තරගවදින කුමාරිහාමි දිසානායක, ලේකම් ධුරයට තරග වදින චම්පා ගුණවර්ධන, ශිරෝමී කුරුප්පු යන මහත්ම මහත්මීන් දැල්පන්දු පුහුණුකරුවන්, විනිසුරුවන් ලෙස කටයුතු කිරීම තුළ ක්‍රීඩා පනතට අනුව නාමයෝජනා ඉදිරිපත් කිරීමට නුසුදුස්සන් වන බවට ඔවුන්ට එරෙහිව ගොනු කළ විරෝධතා වලින් දන්වා තිබේ.

කෙසේ වූවත් නාමයෝජනා ඉදිරිපත් කිරීමේ දී කැපී පෙනෙන සිදුවීමක් වන්නේ එකම පාර්ශ්වයක් වෙමින් නාමයෝජනා ලැයිස්තු දෙකක් ඉදිරිපත් වීමය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂවරියක් වන පද්මා බැද්දෙවිතාන මහත්මිය ඇතුළු නිලධාරිනියන් කීප දෙනෙකු ප්‍රධාන සභාපති අපේක්ෂිකා ලක්ෂ්මී වික්ටෝරියා මහත්මියට සහයෝගය පළ කරමින් නාම යෝජනා බාර දී ඇතැයි වාර්තා වේ.

එහිදී වැඩිදුරටත් හෙළිවන තොරතුරුවලට අනුව ලක්ෂ්මී වික්ටෝරියා මහත්මියට සහයෝගය පළ කරමින් තිලකා බැද්දවිතාන මහත්මිය ඇතුළු නිලධාරිනියන් කීප දෙනෙකු නාමයෝජනා ඉල්ලා අස්කර ගැනීමට සුදානම්ව සිටියි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ පැවැති පසුගිය නිලවරණයේ දී (2019-20) විධායක සභාවේ පත්වීම්වලට එරෙහිව වෙළෙඳසේවා දැල්පන්දු සංගමය අභියාචනාධිකරණයේ පැවරූ නඩුවක් මෙතෙක් විභාගයට ගෙන නැත.

මෙවර ලක්ෂ්මී වික්ටෝරියා පාර්ශ්වයෙන් නොවන ඉදිරිපත්ව තිබෙන එකම නාමයෝජනාව උප ලේකම් ධුරයට තරග වදින ශ්‍යාමා කුරේ මහත්මිය වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය නියෝජනය කරමින් ඉදිරිපත් කර තිබේ.
1.


අදහස් (0)

දැල්පන්දු නිලවරණයට ඉදිරිපත් වූ විරෝධතා විභාග කෙරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.