Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දර්ශා කෙස්ගහෙන් එල්ලෙයි

දර්ශා කෙස්ගහෙන් එල්ලෙයි

editorial - 2021 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-------------------
නාමල් පතිරගේ
-------------------

උප සභාපතිවරුන් හය දෙනකුටම තනතුරු හැර යාමට සිදු වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණයේ දී හිටපු සුපිරි ධාවන ශූරී කේ වී. දමයන්ති දර්ශා මහත්මිය ඡන්ද 53ක් ලබා  උප සභාපති ධුරයට පත්වූවාය.

කෙසේ වුවත් නිලවරණයෙන් පත්කර ගන්නා උප සභාපති ධුර හතෙන් අවසන් උප සභාපතිධුරයට පත් ඇගේ එම පත්වීම නිලවරණයේ දී කතාබහට ලක්වූයේ කෙස් ගහෙන් එල්ලීමක් ලෙසිනි.

සුසන්තිකා ජයසිංහට පමණක් දෙවැනි ශ්‍රී ලංකාවෙන් මෙතක් පහළ වූ සෙසු හොඳම  කෙටි ධාවන ශූරිය ලෙස අදටත් සලකන ආසියානු ශූරතා වාර්තාලාභිනියක් ද වන දර්ශා මේ වනවිට ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩාකයන්ගේ සංගමයේ  වත්මන් ලේකම්වරියයි. ඇය එහි මීළඟ සභාපතිනිය ලෙස නාම යෝජනා  බාර දීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

මෙවර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණයේ ඡන්ද විමසුම උප සභාපති ධුර හා උප භාණ්ඩාගාරික ධුරයට පමණක් සීමා විය. පසුගිය නිල කාලයේ සභාපති ධුරය දැරූ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, ප්‍රධාන ලේකම් ධුරය දැරූ ප්‍රේමා පින්නවල හා භාණ්ඩාගාරික ධුරය දැරූ ශාන්ත සිල්වා යන මහත්වරු යළිත් එම ධුර සඳහා ඉදිරි සිව් වසරක කාලයක් සඳහා පත්වූයේ නිතරගයෙනි.
කෙසේ වුවත් උප සභාපති ධුර හතක් පිරවීම සඳහා නාම​යෝජනා 14ක් ඉදිරිපත් වීමත් ඒ සඳහා ඡන්ද විමසුමකින් සිදු කෙරිණි. ඒ සඳහා හිටපු සුපිරි ධාවන ශූරියක් ද ඉදිරිපත්වීමෙන් උප සභාපතිධුර ඡන්ද විමසුම මෙවර නිලවරණයේ දී වඩාත් අවධානයට යොමු විය.

මේ අතර දමයන්ති දර්ශා මහත්මිය හා සමාන ඡන්ද ගණනන් (53 බැගින්) ලබමින් උප සභාපති ධුරයට පත් වූ ප්‍රසන්න ඉන්දික මහතා නිලවරණය ආරම්භ වූ අවස්ථාවේදී තමන් නිලවරණයට ඉදිරිපත් වෙමින් ලබාදුන් බව කියන ඡන්ද පොරොන්දුවක් දිවුරුම් පෙත්සමක් මගින් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළේය.

නිලවරණයේදී තමන් උප සභාපති ධුරයට  පත් වුවහොත් දිවයිනේ සියලු දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගම් වෙත රුපියල් 20,000ක් බැගින් ලබාදෙන බවට දුන් බව කියන පොරොන්දුවක් මෙලෙස ඉල්ලා අස්කර ගත් බව වාර්තා වේ.

ඔහුගේ මෙම ඡන්ද පොරොන්දුව අල්ලස් ගණයට වැටෙන බවට පළවු මත සැලකිල්ලට ගනිමින් ඔහු මෙම පොරොන්දුව ඉල්ලා අස්කර ගත් බව ද  වාර්තා වේ.

මේ අතර මේජර් ජනරාල් හරේන් රණසිංහ, අයිරාංගනි රූපසිංහ, අනිල් වීරසිංහ එච්. ඩබ්. නිමල්සිරි හා ඒ. එස්. එම්. අක්මාල් මේජර් ජනරාල් මහින්ද මුදලිගේ යන එතෙක් උප සභාපතිධුර දරමින් සිටි අපේක්ෂකයෝ හය දෙනෙක් මෙවර පරාජයට පත්වන අතර ලාල් මන්ත්‍රීකුමාර මහතා පමණක් එතෙක් ඔහු දැරූ උප සභාපතිධුරය රැක ගැනීමට සමත්විය.

මෙවර මලල ක්‍රීඩා නිලවරණයේදී වඩාත්ම අවධානය දිනා ගත් කරුණක් වන්නේ දේශීය මලල ක්‍රීඩාවට වැඩිම දායකත්වයක් ලබාදෙන ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් උප සභාපති ධුර සඳහා ඉදිරිපත් වූ මේජර් ජනරාල් හරේන්ද්‍ර රණසිංහ හා මේජර් ජනරාල් මහින්ද මුදලිගේ යන මහත්වරුන්ගේ පරාජයයි. දේශීය මලල ක්‍රීඩා සංවිධානවල කල් ගෙවන බහුතරයක් යුද හමුදාවට බැඳුණු එහි අනුග්‍රහය ලබන්නෝ වෙති.

මේ අතර සමන් කුමාර ගුණවර්ධන මහතාගේ මෙවර පත්වීමේ විශේෂත්වය  වන්නේ මලල ක්‍රීඩා දත්ත කාර්යසාධන නිලධාරී ධුරයට ඔහු සෙනසුරාදා (24) පැවැති නිලවරණයේ දී පත් වන්නේ පිට පිටම 27 වැනි වසරට වීමයි.

බස්නාහිර පළාත් සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරය දරන ජගත් ඥනිසිරි සිල්වා මහතා වැඩිම ඡන්ද ගණනක් ලබමින් (62) උප සභාපතිධුරයට පත්විය. දිස්ත්‍රික් අනු සංගම් හා ක්‍රීඩා සමාජ 39ක නියෝජිතයෝ මෙවර නිලවරණයට සහභාගි වූහ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා යනුවෙන් අද ව්‍යාවහාර වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ශත සංවත්සරය වසර 2022 පෙබරවාරි 18 වැනිදට යෙදී තිබේ. සෙනසුරාදා පත්වූ විධායක සභාවට එම ශත සංවත්සර උත්සවය මෙහෙයවීමේ අවස්ථාව හිමිව තිබේ.


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නව විධායක සභාව (2021-24)
♦ සභාපති - මේජර් ජනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු මහතා (නිතරගයෙන්)
♦ ලේකම් - ප්‍රේමා පින්නවල මහතා (නිතරගයෙන්)
♦ භාණ්ඩාගාරික – ශාන්ත සිල්වා මහතා (නිතරගයෙන්)
♦ උප සභාපති ධුර අටෙන් හතක් පමණක් නිලවරණයේදී පත් කර ගැනේ (එක් ධුරයක් පාසල් සංගමයට වෙන් කෙරේ) : අජිත් නාරගල (ඡන්ද 76), ලාල් චන්ද්‍රකුමාර (62), ජගත් ඥාණසිරි සිල්වා (62), චන්දන ඒකනායක (57), ජී,එල්.එස්. පෙරේරා (56), ප්‍රසන්න  ඉන්දික (53) කේ.වී. දමයන්ති දර්ශා (53),
උප සභාපති පරාජිත අපේක්ෂකයන් - මේජර් ජනරාල් හරින්ද්‍ර රණසිංහ (47), අයිරාංගනී රූපසිංහ (44), අනිල් වීරසිංහ (38), එච්.ඩබ්. නිමල්සිරි (36), ඒ.එස්.එම්. අක්මාල් (29), එස්. තනුරාජ් (22), මේජර් ජනරාල් මහින්ද මුදලිගේ (09),
♦ සහකාර ලේකම් - පාලිත ජයතිලක මහතා (වරුණ උඩවත්ත මහතාගේ නාම​යෝජනාව ඉල්ලා අස්කර ගැනීමෙන් නිතරගයෙන්)
♦ සහකාර භාණ්ඩාගාරික – එච්.ඒ. උපාලි මහතා (90), අමිල විජේකෝන් මහතා (14),
♦ දත්ත කාර්යසාධන නිලධාරී - සමන් කුමාර ගුණවර්ධන මහතා (නිතරගයෙන්)


අදහස් (0)

දර්ශා කෙස්ගහෙන් එල්ලෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.