Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තුන් ඉරියව් ක්‍රීඩක‍යෝ යාපනය බල ගන්වති

තුන් ඉරියව් ක්‍රීඩක‍යෝ යාපනය බල ගන්වති

ශානුක අරවින්ද - 2020 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක තිසර පෙරේරාද සමගින් ජාත්‍යන්තර මට්ටමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් 7 දෙනකුගෙන් සමන්විත යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම, ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් අතර ප්‍රධාන තැනක් ගනී. අවසන් මොහොතේදී සිදුවූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජොන්සන් චාල්ස්ගේ ආගමනයද යාපනය කණ්ඩායමේ ශක්තිය තවත් වැඩි කරනු ඇත.

විශේෂම කරුණ නම් අන්තර්ජාතික විස්සයි-20 පිටියේ දී අද්වීතීය මෙහෙවරක් කළ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාම යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට සහයෝගය දැක්වීමයි.

විස්සයි20 ජාත්‍යන්තර තරග 9 කදී ශ්‍රී ලංකා කණ්ඩාය‍ම මෙහෙයවා ඇති තිසර,  කණ්ඩායම සතු අත්දැකීම් බහුළම තුන් ඉරියව් ක්‍රිඩකයාය. තරග 277 කදී අර්ධ ශතක 7 ක් සමග ලකුණු 3435 රැස්කිරීමට සමත්ව ඇත්තේ 20.44 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. විස්සයි20 තරගවලදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය 146.66 ක අගයක් ගනී. එහිදී 26.30 ක සාමාන්‍යයකට හිමිකම් කියමින් කඩුලු 238 ක් බිඳහෙළීමටද තිසර සමත්ව සිටියි.

අවසන් මොහොතේ කණ්ඩායම සමග එක්වූ කොදෙව් ආරම්භක පිතිකරු ජොන්සන් චාල්ස් කණ්ඩායම සතු විදෙස් පිතිකරුවාද වේ. කඩුලු රකින ක්‍රීඩකයකු වන ඔහු විස්සයි20 තරග 176 කදී ලකුණු 4240 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතක 26 ක් සමගිනි. එහි සාමාන්‍යය 25.08 ක අගයක් ගන්නා අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ වේගය 127.44 ක් ලෙස සටහන් වේ.

යාපනය කණ්ඩායමට ඇතුළත්ව සිටින විදෙස් තුන් ඉරියව් ක්‍රීඩකයා මෙන්ම විස්සයි20 අත්දැකීම් බහුලම ක්‍රීඩකයා ලෙසද පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායක ෂොයිබ් මලික් හැඳින්විය හැකිය. මේ දක්වා විස්සයි20 තරග 402 කට ක්‍රීඩ‍ා කර ඇති ඔහු එහිදී අර්ධ ශතක 63 ක් සමග ලකුණු 10,184 ක් රැස්කරමින්, කඩුලු 149 ක් දවාගෙන සිටියි. පිතිකරුවකු ලෙස 37.44 ක ලකුණු රැස්කිරීමේ සහ පන්දු යවන්නකු ලෙස 27.12 ක කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යයකට හිමිකම් කියන මලික්ගේ ලකුණු රැස්කිරීමේ වේගය දැක්වෙන්නේ 126.11 ක් ලෙසිනි.

තිසරට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමිකර ගත් ක්‍රීඩකයන් වන ධනංජය ද සිල්වා, ප්‍රභාත් ජයසූරිය, වනිඳු හසරංග සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරු චතුරංග ද සිල්වා මෙන්ම ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ හිටපු නායක චරිත් අසලංකද යාපනය කණ්ඩායම නියෝජනය කරන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෝ වෙති. ඔවුන් අතරින් ධනංජය සහ වනිඳු වර්ථමානයේදීද ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ සාමාජිකයෝ වෙති.

පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක උස්මානි ෂින්වාරි, දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් දෙදෙනකු වන කයිල් ඇබට් සහ ඩුඈන් ඔලිවර්, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක සුරංග ලක්මාල් සහ බිනුර ප්‍රනාන්දු සමගින් යාපනය කණ්ඩායමේ වේග පන්දු බලඇණිය සවිමත් කරති.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමගින් එංගලන්ත ජාතික කඩුලු රකින ක්‍රීඩක ටොම් මුවර්ස් සහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක කණ්ඩායමේ පිතිහරඹ අංශය බල ගන්වති. මහේෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, නුවනිඳු ප්‍රනාන්දු, කනගරත්නම් කාබිල්රාජ්, තිවේන්ද්‍රම් දිනෝෂාන් සහ සෙබස්තියන්පිල්ලෙයි විජයරාජ් නැඟී එන ක්‍රීඩකයන් ලෙස යාපනය කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උප නායකයකු වන තිළිණ කණ්ඩම්බි මහතා යාපනය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මාරියෝ වෙල්ලවරායන් මහතා වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත්, සචිත් පතිරණ මහතා දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත්, විමුක්ති දේශප්‍රිය මහතා පන්දු රැකීමේ පුහුණුකරු ලෙසත් කණ්ඩායමට එක්ව සිටිති.

තරගාවලියේ දෙවැනි දිනය වන 27 වැනිදා ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.

 

යාපනය ස්ටැලියන්ස් සංචිතය
තිසර පෙරේරා (නායක), සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා, අවිෂ්ක ප්‍රනාන්දු, වනිඳු හසරංග, ෂොයිබ් මලික් (පාකිස්තානය), කයිල් ඇබට් (දකුණු අප්‍රිකාව), උස්මානි ශින්වරි (පාකිස්තානය), ටොම් මූවර්ස් (එංගලන්තය), ඩුඈන් ඔලිවර් (දකුණු අප්‍රිකාව), ජොන්සන් චාල්ස් (බටහිර ඉන්දීය කොදෙව්), මිනොද් භානුක, චතුරංග ද සිල්වා, මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, විජයකාන්ත් වියස්කාන්ත්, බිනුර ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, නුවනිඳු ප්‍රනාන්දු, කනගරත්නම් කාබිල්රාජ්, තිවේන්ද්‍රම් දිනෝෂාන් සහ සෙබස්තියන්පිල්ලෙයි විජයරාජ්

 


අදහස් (0)

තුන් ඉරියව් ක්‍රීඩක‍යෝ යාපනය බල ගන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.