Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තීරණය නැවත සලකා බැලීමට යයි

තීරණය නැවත සලකා බැලීමට යයි

නාමල් පතිරගේ - 2020 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිල කාලය අවසන් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු අධ්‍යනයකින් පසුව නැවත සලකා බලන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්  අමල් එදිරිසූරිය මහතා එහි හිටපු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

එන්. කරුණාරත්න මහතාගේ සහභාගිත්වයෙන් යුත් පාපැදි සම්මේලනයේ නිලධාරි මණ්ඩලයේ නිල කාලය පසුගිය මාර්තු 20 වැනිදා අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කළේය. ඊට හේතුව ලෙසින් දක්වා තිබුණේ 2019 - 20 නිල කාලය අවසන් වී ඇති බවයි.

එවකට පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි එන්. කරුණාරත්න, එහි භාණ්ඩාගාරික ධුරයේ කටයුතු කළ සේනක රණසිංහ හා උප සභාපතිවරයකු වන බී.ජේ. සුමනසේකර යන මහත්වරු පසුගියදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රීඩා අමාත්‍යාංශයේදී මුණගැසී නිල කාලය අවසන් කිරීමට ගත් තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කළ බව වාර්තා වේ.

එහිදී දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවේදී පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සත්කාරය දරන ‘ටී-කප්’ ජාත්‍යන්තර පාපැදි සවාරිය ඇතුළුව ප්‍රධාන පෙළේ දේශීය තරග කිහිපයක් හා තවත් පුහුණු හා සංවර්ධන වැඩසටහන් ගණනාවක් පාපැදි සම්මේලනයේ ඉදිරියේ සැලසුම් අතරට ඇතුළත් කර තිබියදී සම්මේලනයේ නිල කාලය අවසන් කිරීමට ගත්  තීරණයෙන් එම සියලු වැඩසටහන් අත්හිටුවීමට සිදුව තිබෙන බවයි.

එම සංවර්ධන වැඩසටහන් සැලසුම් කළේ පාපැදි සම්මේලනයේ පැවැති නිලවරණයෙන් පත්වූ නිලධාරි මණ්ඩලයේ නිල කාලසීමාව එතැන් සිට ඉදිරියට වසර හතරක් ලෙස සලකමින් බවත් එහිදී පාපැදි සම්මේලනයේ ප්‍රධානීන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවධාරණය කර තිබේ.

ජාතික ක්‍රීඩා පනතේ සංශෝධිත රෙගුලාසි අනුව ජාතික ක්‍රීඩා සංගමයක නිල කාලය උපරිම වශයෙන් සිව් වසරක් දක්වා පවත්වා ගෙන යා හැකි බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

කෙසේ වුවත් ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ ආර්. බී. වික්‍රමසිංහ මහතා පාපැදි සම්මේලනයේ පැවැති නිල කාලය අවසන් කළ බවට දැනුම් දුන් ලිපියේ දක්වා ඇත්තේ, එහි ව්‍යවස්ථාවට අනුව නිලවරණයකින් පත්වන නිලධාරි මණ්ඩලයේ කාලසීමාව වසරක කාලයකට පමණක් සීමා වන බවයි. ඒ අනුව වසරක් ඉක්මවා යාමෙන් පසුව එතෙක් පත්ව සිටි විධායක සභාව වලංගු නොවන බවත් එමගින් දන්වා තිබේ.

මේ අතර පාපැදි සම්මේලනයේ ක්‍රියාත්මක වෙමින් පැවති නිල කාලය අවසන් වූ බවට නිවේදනය කළ වික්‍රමසිංහ මහතාට එරෙහිව එම තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥ සමාගමක් මගින් මේ වන විට ඔහුට එන්තරවාසියක්ද යවා තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ පාපැදි ව්‍යාපෘති නිලධාරියාගේ කාර්යභාරයද පාපැදි සම්මේලනයේ හිටපු ප්‍රධානීන් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර පැවැති සාකච්ඡාවේදී කතාබහට ලක්ව තිබේ.

ඔහු පාපැදි සම්මේලනය සමග සහයෝගයෙන් කටයුතු නොකිරීම තුළ පාපැදි ව්‍යාපෘති නිලධාරී තනතුරේ කාර්යභාරයන් පසුගිය කාලයේදී නිසි ලෙස ඉටු නොවූ බවටද එහි ප්‍රධානීන් සාකච්ඡාවේදී චෝදනා නගා තිබේ. ඔහු පාපැදි සම්මේලනයේ නිලවරණයේදී පාර්ශ්වයන් නියෝජනය කරන ක්‍රීඩා සමාජයක තනතුරු දරන්නෙක් බවට ද එහිදී ඔහුට තවත් චෝදනාවක් නගා තිබේ.

පාපැදි සම්මේලනයේ නිල කාලය අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් තීරණය නොබෝදා පවත්වා අවසන් කළ ගුවන් හමුදා පාපැදි සවාරියටද බලපෑමක් ඇති කළේය. ඒ පාපැදි සම්මේලනයේ අනුමැතියෙන් නිර්දේශ වූ එහි විනිසුරු මඩුල්ල ඉවත්කරමින් ඒ සඳහා ආදේශ කළ වෙනත් විනිසුරු මණ්ඩලයක් පත්කිරීමට දැරූ උත්සාහයක් හේතුවෙනි. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාගේ නියෝගයකින් එම අවස්ථාව පාපැදි සම්මේලනයේ විනිසුරු මඩුල්ලට හිමිවිය.

 


අදහස් (0)

තීරණය නැවත සලකා බැලීමට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.