Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තහනම ඉවත් කරන්න’යි මලික්ගෙන් ඉල්ලීමක්

තහනම ඉවත් කරන්න’යි මලික්ගෙන් ඉල්ලීමක්

editorial - 2020 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවකට වරදකරුවකු වූ පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක සලීම් මලික්, ජීවිත කාලය පුරාම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවීම වලක්වාලමින් ලබාදුන් තහනම ඉවත්කරන ලෙස නැවත වරක් ඉල්ලා සිටී. තමන්ට ක්‍රිකට් පුහුණුකරුවකු වීමට අවස්ථාව ලබා දෙන ලෙස මලික් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ වනවිට 57 හැවිරිදි මලික්, ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන ජාතියක් අපකීර්තියට පත්කරමින් 2000 වසරේදී පැවැති අධිකරණ පරීක්ෂණයකින් පසුව තරග පාවාදීමේ චෝදනාවට වරදකරු විය. 1995 දී ඕස්ටේ්‍රලියානු පිලේ පාකිස්තාන සංචාරයේදී දස්කම් දක්වා නොසිටීමට ෂේන් වෝන්, මාක් වෝ සහ ටිම් මේ යන තිදෙනාට අල්ලස් දීමට උත්සහ කළ බවට ඔහුට චෝදනා කර තිබුණි.

ඔහුගේ තහනම 2008 දී පාකිස්තාන අධිකරණයක් විසින් ඉවත් කරන ලද නමුත් එම තීරණය පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය හෝ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අනුමත නොකෙරිණ. එහෙත් මේ සම්බන්ධයෙන් මලික් කියන්නේ තමාට “දෙවන අවස්ථාව” ලැබිය යුතු බවයි.
“මට අවශ්‍ය වී ඇත්තේ මගේ රටට සහ ක්‍රීඩකයන්ට පුහුණුකරුවෙකු ලෙස සේවය කිරීමටයි” ඔහු වීඩියෝ පණිවිඩයකින් පැවසීය.

හිටපු වේග පන්දු යවන ක්‍රීඩක අතා-උර්-රෙහ්මාන්ට ද ජීවිතාන්තය දක්වා තහනමක් පැනවූ අතර තවත් ක්‍රීඩකයින් හය දෙනෙකුට දඩ නියම විය. තහනම ආපසු හැරවීම සඳහා තමා වසර ගණනාවක් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට ආයාචනා කළ බව මලික් කියා සිටියේය.

“මම පුහුණුකරුවෙකු ලෙස සේවය කිරීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම සිතා මතාම මාව නොසලකා හරිනවා” යැයි මලික් පැවසීය. 1982 සිට 1999 දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවූ ඔහු ටෙස්ට් තරග 103 ක් සහ එක්දින තරග 283 ක් ක්‍රීඩා කර ඇත. සලිම් මලික් සිය මංගල ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් ලබාගත්තේය.
 
ඔහු 2012 දී පාකිස්තානයේ පිතිහරඹ පුහුණුකරු ලෙස ඉල්ලුම් කළ අතර 2008 දී ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ද අයැදුම් කළේය. නමුත් අවස්ථා දෙකේදීම ඔහු නොසලකා හැරිණ. කෙසේ වෙතත් වඩාත් අශිෂ්ට අයුරින් ක්‍රීඩාවට වැරදිකරුවන් වූ අනෙක් ක්‍රීඩකයින්ට නැවත ක්‍රීඩාවට එක්වීමට අවසර දී ඇති බවට මලික් තර්ක කරයි.

“මොහොමඞ් අමීර්, සල්මාන් බට්, මොහොමඞ් අසීෆ් සහ සර්ජීල් ඛාන් යන අයට නැවතත් ක්‍රීඩා පිටියට එන්න අවසර දුන්නා. ඒත් මට ඒ අවස්ථාව දීලා නෑ” යයි ඔහු පවසයි.

2010 වසරේදී තරග පාවාදීමේ චෝදනාවන්ට වරදකරුවන්වූ සල්මන් බට්, මොහොමඞ් අසිෆ් සහ මොහොමඞ් අමීර්ට වසර 5 ක තහනමක් පැනවූ අතර සර්ජීල් ඛාන්ට 2017 දී එවැනිම දඩුවමක් නියම විය.
 
කෙසේ වෙතත් තමන්ගේ හිටපු නායකයාගේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සහාය දක්වන බව මලික් සමගින් කණ්ඩායමේ හිටපු සාමාජිකයින් තිදෙනෙකු මේ මස මුල් සතියේදී පවසා තිබිණ.
 
-2079​

අදහස් (0)

තහනම ඉවත් කරන්න’යි මලික්ගෙන් ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.