Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරග පැවැත්වීමේ සහතිකයක් ඉල්ලති

තරග පැවැත්වීමේ සහතිකයක් ඉල්ලති

නාමල් පතිරගේ - 2020 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
රට තුළ උද්ගතව තිබෙන ගෝලීය කොවිඩ් දෙවැනි රැල්ලේ අනතුර පහව නොගියහොත් ලබන දෙසැම්බර් 5 – 6 දෙදින කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ද කණකොකා හඬන තත්ත්වයක් උද්ගත විය හැකි බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි. ජාතික තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් කලින්ම සහතිකයක් ලබාදෙන ලෙස සංචිතගතව දැනට පසුවන දේශීය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

දේශීය තරගාවලි වසරකට ආසන්න කාලයක් නොපැවැත්වීමෙන් සිය දක්‍ෂතා සම්බන්ධයෙන් නිවැරැදි තක්සේරුවකට පැමිණීමට තිබූ අවස්ථාව ඇහිරී ගොස් ඇතැයි ඔවුහු කණස්සල්ල පළ කරති. ඒ සඳහා ඔවුන්ට තිබූ ආසන්නතම අවස්ථාව ද නොබෝදා අහිමි වූයේ පසුගිය ඔක්තෝබර් 23 – 24 දෙදින සුගතදාස පිටියේ දී පැවැත්වීමට සූදානම් කර තිබූ දක්ෂතා නිරීක්ෂණය කෙරෙන විශේෂ මලල ක්‍රීඩා තරගාවලිය අත්හිටුවීමට සිදුවීමෙනි.

මේ අතර ලබන දෙසැම්බරයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන ජාතික මලල ක්‍රීඩා තරගාවලිය මෙන්ම කල් දමනු ලැබූ ක්‍රීඩක දක්ෂතා නිරීක්ෂණය කෙරෙන තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) පැවැත්වීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, ජාතික ක්‍රීඩා වෛද්‍ය විද්‍යාතනයේ සභාපති වෛද්‍ය ලාල් ඒකනායක, ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට සහභාගිවීමට සූදානම්වී සිටියහ.

ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න මහතා ‘ලංකාදීප’ය කළ විමසුමක දී මෙසේ පැවසීය.

‘‘මේ වෙනකොට ජාතික හා සුපිරි යන සංචිත දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම් කරන්නේ එළඹෙන ජාතික තරගාවලිය ගැන මහත් බලාපොරොත්තුවකින්. ඔවුන්ට දැන් වසරකින් තරග ලැබිලා නෑ. ...මේ නිසා ඔවුන් දැන් අපේක්ෂා භංගත්වයට පත්වුණු තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. තරමක් හෝ ඔවුන්ට දැන් යහපතකට තියෙන්නේ ජාතික ශූරතාවලිය විතරයි. නමුත් දැන් රට තුළ ඇතිවෙලා තියෙන තත්ත්වය දිහා බැලුවම යොදාගත් දවස්වලට ඒක පවත්වන්න පුළුවන් ද කියන එක ගැනත් විශ්වාසයක් නෑ. ඒ නිසා අපි ජාතික ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ සභාපතිවරයාගෙන් ඉල්ලා හිටියා අපට මේකට විසඳුමක් දෙන්න කියලා.’’

ජාතික හා සුපිරි යන දැනට ක්‍රියාත්මක මලල ක්‍රීඩා සංචිත දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 88 කි. කල් දමනු ලැබූ ‘‘නිරීක්‍ෂණ’’ තරගාවලිය සූදානම් කළේ ඔවුන්ගේ දක්‍ෂතා විමසා බැලීම සඳහාය.

ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කොළඹ දී පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර තිබුණත් එය දියගම මහින්ද රාජපක්‍ෂ පිටියේ දී පැවැත්වීම කෙරෙහි ද මේ වනවිට මලල ක්‍රීඩා සංගමයේ අවධානය යොමුව තිබේ. දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු හමුවේ මේ වනවිට අළුතින් කෘත්‍රිම ධාවන පථයක් ද එළා අවසන් කර තිබේ. කෙසේ වුවත් එහි මෙතෙක් එහි මංතීරු ලකුණු කර නොතිබීමෙන් එය පාවිච්චියට ගැනීම ප්‍රමාද වනු ඇතැයි ද වාර්තා වේ.

එම මංතීරු සලකුණු කිරීමට විදේශීය සමාගමක සේවකයන් මෙරටට පැමිණීමට සූදානම්ව සිටියත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ගේ මෙරටට පැමිණීම ප්‍රමාද විය හැකි බව ද වාර්තා වේ. කෙසේ වුවත් ජාතික මලල ක්‍රීඩා තරගාවලිය කුමන තත්ත්වයක් මැද වුවද පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කරන ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න මහතා එළඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීම සඳහා ලෝක මලල ක්‍රීඩා සංගමය හඳුන්වා දී තිබෙන විශේෂ ලකුණු ක්‍රමය අනුව රටක ජාතික තරගාවලිය සඳහා වඩාත් වටිනාකමක් ලැබී තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් මත නිර්දේශ වන ක්‍රමය හැරෙන්නට එම ලකුණු ක්‍රමය තුළින් රටක ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ ඉසව් ජයග්‍රාහකයන් සඳහා ද ප්‍රසාද ලකුණු පිරිනමයි. එම නිශ්චිත ලකුණු ප්‍රමාණය සම්පූර්ණ කර ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙලට නිර්දේශ වේ.

පසුගිය වසරේ (2019) දෙසැම්බර් මාසයේ පැවති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සහභාගිත්වයෙන් පසුව ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ දක්වා වෙනත් කිසිදු දේශීය හෝ විදේශීය මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගිවීමේ අවස්ථාව උදාවී නැත. එහි වඩාත් අවාසනාවන්ත තත්ත්වය වන්නේ වසර ගණනාවකට පසුව මේ වනවිට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව සඳහා දේශීය අනුග්‍රාහකයෙකු ද ඉදිරිපත්ව සිටීමය.
 

 


අදහස් (0)

තරග පැවැත්වීමේ සහතිකයක් ඉල්ලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.