Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරග පාවාදෙන්න කළ ආරාධනාව ගැන දූෂණ මර්ධන නිලධාරීන්ට පැමිණිල්ලක්

තරග පාවාදෙන්න කළ ආරාධනාව ගැන දූෂණ මර්ධන නිලධාරීන්ට පැමිණිල්ලක්

යොහාන් භාසුර - 2020 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ  කොළඹ කිංග්ස් පිල නියෝජනය කරන තරුණ ක්‍රීඩකයකුට තරග පාවාදීමට සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයකු කළේ යැයි කියන යෝජනාවක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන අංශය දැනුවත් කර තිබේ. මෙම යෝජනාව කළ බව කියන හිටපු පිට දඟ පන්දු යවන්නා මේ වන විට වෙනත් රටක පැවැත්වෙන ලීග් තරගාවලියට සහභාගි වී සිටියි.

පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ ප්‍රශ්නයට තහනමට ද ලක්ව සිටි හිටපු ක්‍රීඩකයාට මීට පෙරද තරග පාවාදීම සම්බන්ධ චෝදනා එල්ල වූ අතර පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) එම චෝදනාවලින් ඔහුව නිදහස් කළේය.  

යෝජනාව ලද තරුණ ක්‍රීඩකයා කොළඹ ප්‍රධාන ක්‍රීඩා සමාජයක දඟ පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කරයි. එම තරුණ දඟ පන්දු යවන්නා විශේෂ දක්‍ෂතාවක් හේතුවෙන් මීට වසර තුනකට පමණ පෙර කථා බහට ලක්වූ ක්‍රීඩකයෙකි.  තරුණ දඟ පන්දු යවන්නා හම්බන්තොට රැදී සිටියදී දුරකථනයෙන් මෙම යෝජනාව ලැබී ඇති බව දැනගන්නට තිබේ.

 මෙම සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් සහ එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්‍ෂ රවීන් වික්‍රමරත්න මහතාගෙන් ඊයේ (24) පෙරවරුවේ කළ විමසුමකදී පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.  

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් හම්බන්තොට ඉන්නවා. එම නිලධාරීන්ට පැමිණිළි කළා ද දන්නේ නෑ. මොකද ඔය වගේ දෙයක් අපිට කියන්නේ නෑ. එම නිලධාරීන් එවැනි පැමිණිළි රහසිගතව තබාගත යුතුයි” යැයි වික්‍රමරත්න මහතා වැඩි දුරටත් පැවසීය.

නම සඳහන් කිරීමට අකමැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ අදාල තරුණ ක්‍රීඩකයා එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන අංශ නිලධාරියාට පැමිණිළි කර ඇති හෙයින් මේ වන විට සිද්ධිය අන්තර්ජාතික ක්‍රිකට් සභාව බාරයට ගෙනඇති බවයි.  

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් දෙදෙනකු ද එල්.පී.එල්. තරගාවලිය අධීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.  

එල්.පී.එල්. තරගාවලිය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (26) ආරම්භ වන අතර දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ලැබුණ හොත් හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන අංශය දැනුවත් කරන ලෙස තරගාවලිය සහභාගි වන සියලුම ක්‍රීඩකයන් දැනුවත්කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.  

 

 


අදහස් (0)

තරග පාවාදෙන්න කළ ආරාධනාව ගැන දූෂණ මර්ධන නිලධාරීන්ට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.