Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටී - කප් පාපැදි සවාරිය ජුනි 4 - 6

ටී - කප් පාපැදි සවාරිය ජුනි 4 - 6

නාමල් පතිරගේ - 2020 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර දෙකක්ම පිට පිට පැවැත්වීමට නොහැකි වූ ටී - කප් ජාත්‍යන්තර පාපැදි සවාරිය ලබන වසරේ ජුනි 4 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වීමට අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාව සත්කාරය දරන ටී - කප් පාපැදි සවාරිය අග්නිදිග ආසියානු හා දකුණු ආසියානු කලාප දෙකටම ඇතුළත්වන අන්තර්ජාතික පාපැදි සම්මේලනයේ අධීක්‍ෂණය හිමිවන එකම වාර්ෂික ජාත්‍යන්තර පාපැදි තරගය ලෙස සුවිශේෂී ස්ථානයක් ලබා තිබේ. අන්තර්ජාතික පාපැදි සම්මේලනය ආසියානු පාපැදි සමුළුවේ මග පෙන්වීම යටතේ නොබෝදා ප්‍රකාශයට පත් කළ වසර 2021 ට නියමිත අන්තර් ජාතික පාපැදි තරග දින දර්ශනයට අනුව තෙවැනි ටී - කප් පාපැදි සවාරියට  දින නියම කර තිබේ.

2019 හා 2020 යන වසර දෙකේදීම ටී - කප් පාපැදි සවාරියට දින යොදා ගෙන තිබියදී එය පැවැත්වීම අත්හැර දැමීමට සිදුවිය. වසර 2019 දී පාස්කු ප්‍රහාරය හේතුවෙන්ද මෙම වසරේදී ‘ගෝලීය’ කොවිඩ් වසංගතය හේතුවෙන්ද පිට පිටම වසර දෙකක් එය අවලංගු කර දැමීමට සිදුවිය.

අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා ‘ලංකාදීප’ ය කළ විමසුමකදී පැවසුවේ ලබන වසරේදී ටී - කප් පාපැදි සවාරිය කෙසේ හෝ පවත්වා අවසන් කිරීමට සත්කාරය දරන ශ්‍රී ලංකාව උනන්දුවිය යුතු බවයි.

අන්තර් ජාතික පාපැදි සම්මේලනය සිය වාර්ෂික ජාත්‍යන්තර තරග දින දර්ශනයට අනුව ආසියානු කලාපයේ මාර්ග ධාවන තරග 35 ක් තරම්වන ප්‍රමාණයකට අනුමැතිය ලබා දුන්නත් වසර 2021 ට එය15 ක් තරම් අඩු වී තිබේ. එසේම ආසියානු කලාපයේ තරග අඩු කළත් ශ්‍රී ලංකාව සත්කාරය දරන ‘ටී - කප්’ පාපැදි සවාරිය සඳහා අනුමැතිය ලැබීම කැපී පෙනේ. ආසියාවේ රටවල් හතකට පමණක් 2021 දී පාපැදි  තරග සංවිධානයට අන්තර්ජාතික පාපැදි සංගමයේ අනුමැතිය හිමිවීමත් කැපී පෙනෙන්නකි.

මේ අතර වසර 2019 දී පැවැත්වීමට සූදානම් කර තිබියදී අත්හිටවූ ටී - කප් පාපැදි සවාරියේ ගමන් මාර්ගයම ලබන වසරේ තරගය සඳහාද යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ආරම්භ කළ ටී - කප් පාපැදි සවාරිය වසර 2019 මැයි 01 සිට 12 වැනිදා දක්වා මීගමුවේ සිට පාසිකුඩා දක්වා අදියර තුනකින් පැවැත්වීමට සැලසුම් කර තිබුණි. එය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත් අන්තයේ සිට බස්නාහිර පළාත් අන්තය දක්වා විසිර යන පරිදි සකස් කළ කිලෝමීටර් 350 ක් දුරැති ගමන් මාර්ගයකි.

ඒ අනුව පාසිකුඩා සිට මහියංගනය දක්වාද, මහියංගනයේ සිට මහනුවර දක්වාද, මහනුවර සිට මීගමුව දක්වාද වන අදියර තුනකින් මුළු තරගය අවසන් කිරීමට එහිදී සැලසුම් කර තිබුණි.

ටී - කප් පාපැදි සවාරියට අනුග්‍රහය හා සම්බන්ධීකරණයෙන් දායකවන ලංකා ස්පෝට්ස් රයිසින් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසුවේ රට යහපත් අතට හැරුණු වහාම 2021 තරගයේ මූලික සැලසුම් පිළියෙල කිරීම අරඹන බවයි.
විදේශීය පාපැදි කණ්ඩායම් 15 ක් හා දේශීය පාපැදි කණ්ඩායම් පහකගේ සහභාගිත්වයෙන් 2021 තරගය සූදානම් කිරීමට නියමිතය.

2019 තරගය සූදානම් කිරීමේදී විදේශීය කණ්ඩායම් 38 ක් සහභාගිත්වය සඳහා අයදුම්කර තිබුණි. ඒ සඳහා ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, දකුණු කොරියාව ආදී පාපැදි ක්‍රීඩාවේ ඉහළ දියුණුවක් පවතින රටවල ක්‍රීඩකයෝද සහභාගි වූහ.

අවසන් වරට පැවැති 2018 පාපැදි සවාරියේ ශූරතාව දිනාගත්තේ පිලිපීනය විසිනි. ඇමරිකානු ඩොලර් 25000 ක් දක්වා වන මුදලක් මෙහි ජයග්‍රාහී කණ්ඩායම් හා ක්‍රීඩකයන් වෙනුවෙන් ලබාදේ.

ටී - කප් පාපැදි සවාරියේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයා ලෙස පැවැති තරග කීපයේදීම කටයුතු කළේ අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතාය.

 


අදහස් (0)

ටී - කප් පාපැදි සවාරිය ජුනි 4 - 6

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.