Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික සංගම් තනතුරුවලට ඉදිරිපත් වීමේදී අවම ක්‍රීඩා සුදුසුකම් නොසලකා හැරීමට යයි

ජාතික සංගම් තනතුරුවලට ඉදිරිපත් වීමේදී අවම ක්‍රීඩා සුදුසුකම් නොසලකා හැරීමට යයි

නාමල් පතිරගේ - 2021 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දේශීය ක්‍රීඩා පරිපාලනයට  ව්‍යවසායකයන් මෙන්ම  ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කරගැනීම උනන්දු කිරීමේ අරමුණින් ජාතික ක්‍රීඩා සංගම් තනතුරු සඳහා අයදුම් කිරීමේදී අනිවාර්ය කර තිබූ අවම ක්‍රීඩා සුදුසුකම් නොසලකා හැරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඉදිරි දිනවලදී නිකුත් කෙරෙන අතර එහි කෙටුම්පත මේ වනවිට නිර්දේශ සඳහා රජයේ නීති අංශ වෙත යොමු කර ඇතැයි ද ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ  අදහස වී ඇත්තේ ජාතික ක්‍රීඩා සංගම් හා ක්‍රීඩා සංවිධානවල තනතුරු දැරීමට උනන්දු වන ව්‍යාපාරික ප්‍රජාව මේ මගින් වඩාත් දිරිමත් වන බවයි.  ඒ තුළින් රටේ ක්‍රීඩාවට ශක්තිමත් අනුග්‍රහයක් සපයාගත හැකි බවත් ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් විශ්වාස කරයි.

දැනට රටේ වලංගු ක්‍රීඩා පනතට අනුව ජාතික ක්‍රීඩා සංගම්වල තනතුරු දරන්නන් අතරින් භාණ්ඩාගාරික හා සහකාර භාණ්ඩාගාරික යන ධුර හැරෙන්නට විධායක සභාවේ සෙසු තනතුරු සඳහා නිලවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ඒ ඒ ක්‍රීඩාවන්හි යෙදී ඇති බවට අවම සුදුසුකම් සනාථ කර සිටිය යුතුය. ඒ සඳහා ජාතික ක්‍රීඩා සංගමය පිළිගත් තරගාවලියක හෝ තරග දෙකක නියෝජනය විධායක සභාව නිර්දේශ ගන්නා නිලවරණයේදී අපේක්ෂකයකු හෝ අපේක්ෂිකාවක් සනාථ කළ යුතුව ඇත.

කෙසේ වුවත් ක්‍රීඩා පනතේ වගන්ති නැවත සංශෝධනයේදී අංක 1990/23-2016 ඔක්තෝබර් 27 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ ජාතික ක්‍රීඩා සංගම් නිලවරණයක් කැඳවන අවස්ථාවේදී අපේක්ෂකත්වය පිළිගැනීම සම්බන්ධයෙන් පනවා තිබූ ඇමැති අභිමතය ඉවත් කිරීමට කටයුතු කෙරුණි. ඒ දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා ඇමැති ධුරය දරමින් සිටියදීය.

ක්‍රීඩා පනතේ එම රෙගුලාසි සංශෝධනයෙන් සිදුවූයේ ක්‍රීඩා සුදුසුකම් නීතිය වඩාත් ශක්තිමත් කිරීමයි.

වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාගේ නව ගැසට් නිවේදනයෙන් සිදුවන්නේ එම නීතිය ඉවත් කිරීමය. කලින් රෙගුලාසි ගැන කර තිබූ ඇමැති අභිමතය ඒ අනුව ක්‍රීඩා අවම සුදුසුකම් පිළිබඳව ගැටලු පැන නැගීමේදී කිසියම් නාමයෝජනාවක් පිළිගනිමින් ඔහුට හෝ ඇයට නිලවරණයේදී තරග වැදීමේ අවස්ථාව ඇමැති අභිමතයෙන් හිමිව තිබුණි.

වත්මන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ඇමැති ධුරයට පත්වීමෙන් පසුව ප්‍රකාශ කළේ  අදටත් ක්‍රියාත්මක වන 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත යල් පැන ගිය එකක් බැවින් එය අද තාලයට ගැලපෙන පරිදි සංශෝධනය කළ යුතු බවයි. ඒ අතර ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශක්තිමත් ආරම්භයක් පදනම් කර ගනිමින් මෙරට ක්‍රීඩාව පවත්වාගෙන යා යුතු බවත් ඒ සඳහා මෙරට ව්‍යාපාරික ප්‍රජාව හා ආයෝජකයන් ක්‍රීඩාවට කැඳවාගෙන ආ යුතු බවයි. ඒ සඳහා ඇතිවී තිබෙන බාධාවන් හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට තමා කටයුතු කරන බවත් ඇමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

 


අදහස් (0)

ජාතික සංගම් තනතුරුවලට ඉදිරිපත් වීමේදී අවම ක්‍රීඩා සුදුසුකම් නොසලකා හැරීමට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.