Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික මහා ක්‍රීඩා උළෙල තහවුරු වෙයි

ජාතික මහා ක්‍රීඩා උළෙල තහවුරු වෙයි

නාමල් පතිරගේ - 2020 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරට නියමිත   46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීම  යළිත් තහවුරු වී තිබේ. ඒ ඊයේ (16) පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් සමග ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න යන මහත්වරු ඇතුළු නිලධාරීන්  පිරිසක් එහිදි ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් එම සාකච්ඡාවට සහභාගි වී තිබේ.

එහිදී ගනු ලැබූ විශේෂිතම තීරණයක් වන්නේ ක්‍රීඩා උළෙලේ අවසන් අදියර වන අන්තර් පළාත් තරගාවලිය පැවැත්වීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේත් අයැදුම්පත් කැඳවීම අන්තර් ජාලය හරහා පමණක් සිදුකිරීමට තීරණය වීමය. වාර්ෂිකව ජාතික මහ ක්‍රීඩා උළෙලේ අවසන් අදියර ලෙස එය සංවිධානය කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය විසිනි.

රට තුළ උද්ගතවී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය මුළු මනින්ම පහව ගොස් නොමැති තත්ත්වයක් තුළ මෙම වසරට නියමිත ජාතික මහා ක්‍රීඩා උළෙලේ පැවැත්ම පිළිබඳව ඊයේ සාකච්ඡාවේදී යළිත් කතා බහට ලක්ව තිබේ.

කෙසේ වුවත් පළාත් ක්‍රීඩා අධ්‍යක්වරුන් තවදුරටත් පෙන්වාදී ඇත්තේ මෙම වසරට නියමිත ජාතික මහා ක්‍රීඩා උළෙල යොදාගත් පරිදි පවත්වා අවසන් කළ යුතු බවය. ඒ සඳහා ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තිබෙන බැවින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, දිස්ත්‍රික් හා පළාත් තරග වට ලබන ඔක්තෝබර් මාසය අවසන් වනවිට පවත්වා  නිම කිරීම සඳහා එහිදි උපරිම දායකත්වයක් ලබාදීමට මෙම සාකච්ඡාවේදී පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්  ප්‍රතිඥා දී තිබේ.

පවතින සෞඛ්‍ය නියමයන්ට අනුකූලව  දුරස්ථභාවය රකිමින් එම තරගමාලාව සංවිධානය කිරීමට ගන්නා උත්සහයේදී  වෙනත් වසරවලදී මෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවීම තනි තනිව සිදු නොකර අන්තර් ජාලය ඔස්සේ කාණ්ඩ වශයෙන් කැඳැවීමට ඒ අනුව සැලසුම් කර තිබේ.

 පවතින තත්ත්වය හමුවේ 46  වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල අවලංගු කිරීමේ අවදානමක් මුලින් පැවතියත් එය පහව ගියේ පළාත්  ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් එය පැවැත්විය යුතු බවට තරයේ  ඉල්ලා සිටි බැවිනි.  

මේ අතර කොරෝනා දෙවැනි රැල්ලක බිය රට තුළ පැතිර යමින් තිබුණ ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණ කර  ඇත්තේ  මෙම වසරට නියමිත 98 වැනි ජාතික මලල ක්‍රීඩා  තරගාවලිය ලබන දෙසැම්බර් 4, 5 යන දෙදින කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමටය.
එම ක්‍රීඩාංගනයේදීම ලබන ඔක්තෝබර් 23, 24, 25 යන දිනවල ජාතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගාවලිය පැවැත්වීමටද ඒ අනුව මේ වනවිට තීරණය කර තිබේ.

මෙම තේරීම් තරගාවලියේ විශේෂ වැදගත්කම වන්නේ එහිදී දක්ෂතා දක්වන නිර්දේශිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් එළඹෙන ජාතික මලල ක්‍රීඩා ශුරතා තරගාවලියට නිර්දේශවීමය. එහි අරමුණු රට තුළ උද්ගතව පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජාතික ශූරතාවලිය සඳහා එක් රැස්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සීමා කිරීමය.

ජාතික තේරීම් තරගාවලියේ ප්‍රධානතම අරමුණ වන්නේ වසර 2021ට නියමිත ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග සහභාගිත්වය සඳහා දැනටත් පවත්වාගෙන යන ජාතික මලල ක්‍රීඩා සංචිතය යාවත්කාලින කිරීමය.

මේ වනවිටත් සුපිරි හා ජාතික යන කාණ්ඩ දෙකකින් මලල ක්‍රීඩා සංචිත දෙකක් ක්‍රියාත්මක වේ. එළඹෙන 2021 වසරේ තවත් වැදගත්කමක් වන්නේ 14 වැනි ‘සාග්’ ක්‍රීඩා උළෙල යෙදී තිබීමය.

ඒ සඳහා සත්කාරය  දැරීමට ඉදිරිපත්ව සිටින්නේ පාකිස්ථානයයි. ඒ ලාහෝර් නගරය කේන්ද්‍ර කර ගනිමිනි. එහෙත් එය මෙතෙක් තහවුරු වී නැත්තේ කලාපයේ ප්‍රධානතම බලවතා වන ඉන්දියාව ඒ සඳහා මෙතෙක් එකඟතාව පළ නොකිරීමය. වසර 2021 ජුලි 23 සිට අගෝස්තු 8 වැනිදා දක්වා ටෝකියෝ ඔලිම්පික් උළෙල (2020) පැවැත්වීමට නියමිතය.

මෙවර ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ විශේෂිතම වැදගත්කමක් වන්නේ එය ටෝකියෝ ඔලිම්පික් උළෙලට මලල ක්‍රීඩාවෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීමට ලැබෙන අවස්ථාවක් බවටද පත්ව තිබීමයි. ඒ විශේෂිත ප්‍රසාද ලකුණු ක්‍රමයක් හඳුන්වාදීම තුළිනි.


අදහස් (0)

ජාතික මහා ක්‍රීඩා උළෙල තහවුරු වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.