Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ක්‍රීඩා සංගම් 24ක් දෙගිඩියාවෙන්

ජාතික ක්‍රීඩා සංගම් 24ක් දෙගිඩියාවෙන්

නාමල් පතිරගේ - 2020 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රට තුළ දෙවැනි කොරෝනා රැල්ලක බිය පළවීමත් සමග මෙම වසරට නියමිත ජාතික ක්‍රීඩා සංගම් 24ක නිලවරණ කැඳවීම සම්බන්ධයෙන් යළිත් අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේදී රට තුළ පළවූ කොරෝනා වසංගත තත්ත්වය උද්ගතවීමත් සමග මෙම නිලවරණ පැවැත්වීම සඳහා එළැඹෙන අගෝස්තු 31 වැනිදා දක්වා සහන කාලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය.

ක්‍රීඩා පනතට අනුව ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණ වසරේ මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුය.

කෙසේ වුවත් ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණ කැඳවීමේදී අනුමත ගිණුම් වාර්තා ඇතුළුව අදාළ ලියකියවිලි පිටපත් ද සහිතව නිලවරණය කැඳවීමේ නිල නිවේදනය සාමාජිකත්වයට අවම දින 55කට පෙර දැනුම්දීමය.

එහෙත් වාර්තා වන පරිදි අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණ කැඳවීමේ හැකියාව පවතින්නේ එම ජාතික ක්‍රීඩා සංගම් අතරින් ඉතා සුළු ගණනකට පමණක් බව ද සැළවේ.

පසුගිය පෙබරවාරි මාසයේ සිට රට තුළ උද්ගත වූ කොරෝනා වසංගත තත්ත්වයෙන් රට අක්‍රිය තත්ත්වයට පත්වීම ඊට ආසන්නතම හේතුවක් වී තිබෙන අතර කෙසේ වුවත් කොරෝනා දෙවැනි රැල්ලක බියක් රට තුළ ඇතිවීමත් සමග නිලවරණ කැඳවීම සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සංගම් දැඩි අවිනිශ්චිත තත්ත්වයකින් පසුවන බව ද වාර්තා වේ.

මේ අතර ‘ලංකාදීප’ය කළ විමසුමකදී සහකාර අධ්‍යක්‍ෂ (ක්‍රීඩා) ආර්.බී. වික්‍රමසිංහ මහතා පැවැසුවේ පසුගිය පෙබරවාරි 18 වැනිදා දාතමින් සියලු ජාතික ක්‍රීඩා සංගම් වෙත සිය නිලවරණ කැඳවීම පහසු වන පරිදි කරුණු 15කින් සමන්විත මාර්ගෝපදේශයක් සකස් කර යොමු කළ බවයි.

ඒ සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 30 වැනිදා ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් සමග ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

“මෙම මාර්ගෝපදේශයට අනුගත වෙලා මෙම වසරේ නිලවරණ කැඳවිය යුතු ජාතික ක්‍රීඩා සංගම්හි ප්‍රධානීන් ඒ කෙරෙහි කොතෙක් උනන්දු වුණා ද කියන්න අපි දන්නෙ නෑ. නමුත් රට තුළ උද්ගත වූ කොරෝනා වසංගතයෙන් පැන නැගුණු තත්ත්වය ගැනත් අපට සිතන්න වෙනවා. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නියමයන්ට අනුව නම් මේ වසරේ අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කරන්න ජාතික ක්‍රීඩා සංගම් වග බලාගත යුතුයි.” වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා සංගම් විෂය බාරව නිලවරණ අධීක්‍ෂණ කටයුතු මෙහෙයවන්නේ වික්‍රමසිංහ මහතා විසිනි.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් ගණන මේ වනවිට 70කි. ඉන් මේ වසරේදී නිලවරණ කැඳවිය යුතු ජාතික ක්‍රීඩා සංගම් මෙසේය.

ශ්‍රී ලංකා හොකී සම්මේලනය, ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමය, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය, ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය, ශ්‍රී ලංකා සුමෝ සම්මේලනය, ශ්‍රී ලංකා ජූ ජිට්සු සම්මේලනය, ශ්‍රී ලංකා සැම්බෝ සම්මේලනය, ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සම්මේලනය, ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය, ශ්‍රී ලංකා කැරම් සම්මේලනය, ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය, ශ්‍රී ලංකා සවි එසවීමේ සම්මේලනය, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය, ශ්‍රී ලංකා කඩුහරඹ (ෆෙන්සින්) සංගමය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා චෙස් සම්මේලනය, ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් (අත්පන්දු) සම්මේලනය, ශ්‍රී ලංකා පවර් බෝඩ් සංගමය හා ශ්‍රී ලංකා රෝල් බෝල් සම්මේලනය.


අදහස් (0)

ජාතික ක්‍රීඩා සංගම් 24ක් දෙගිඩියාවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.