Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ක්‍රීඩා උළෙල අනිද්දා ඇරඹෙයි

ජාතික ක්‍රීඩා උළෙල අනිද්දා ඇරඹෙයි

නාමල් පතිරගේ - 2019 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයේ බලපෑම් මධ්‍යයේ වුවත්, යොදාගත් පරිදිම 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල අනිද්දා (24) පස්වරු 2.30ට බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී ඇරැඹීමට ක්‍රීඩා අමාත්‍යාංශය  සියලු කටයුතු යොදා තිබේ. එදින ඇරැඹෙන ක්‍රීඩා උළෙල, ලබන ඉරිදා (27) දක්වා පුරා සිව් දිනක් එම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් ක්‍රීඩා ඉසව් පවත්වා අවසන්ව තිබෙන බැවින් මෙම දින කිහිපයේදී  බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී පැවැත්වෙන්නේ එහි ප්‍රධාන ක්‍රීඩා ඉසව් වන මලල ක්‍රීඩා තරගාවලියයි. මේ වන විටත් කණ්ඩායම් ක්‍රීඩා ඉසව් 21ක් පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කෙරෙන ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන ජාතික මහ ක්‍රීඩා උළෙල වසර 2004 දී ද අවසන් වරට මෙම ක්‍රීඩාංගණයේදීම පවත්වා තිබේ. සිය දේශපාලන බලකොටුව වන බදුල්ලේදී මෙවර ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමට වත්මන් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ. ඒ සඳහාම බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය රුපියල් මිලියන ගණනක වියදමින් නවීකරණය කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා පියවර ගත්තේය.

මෙම ක්‍රීඩා උළෙලේ ඉතිහාසය පිරික්සීමේදී සුවිශේෂ කරුණක් වන්නේ 1975 න් පසුව ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව අඛණ්ඩව බස්නාහිර පළාත විසින් දිනා ගැනීමයි. ගාල්ල මහජන ක්‍රීඩාංගණයේදී එම වසරේදී පැවැති සිවු වැනි ක්‍රීඩා උළෙලේ ජය තහවුරු කරගෙන  ඇත්තේ දකුණු පළාත විසිනි.

කෙසේ වුවත් බදුල්ලේදී මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන්  ඉහළ දක්‍ෂතා අපේක්‍ෂා කළ නොහැක්කේ ඔවුන්  තරග වදින්නේ වැසි සහිත කාලගුණික තත්ත්වයන් මැද, තණකොළ සහිත ධාවන පථයක වීමෙනි. මෙම 29 වැනිදා දක්වා චීනයේදී පැවැත්වෙන ලෝක ආරක්ෂක හමුදා ක්‍රීඩා උළෙල සඳහා මෙටර පළපුරුදු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ම එහි ගොස් සිටින බැවින්ද මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට ඔවුන්ගේ සහභාගිත්වයද අහිමිව ගොස් තිබේ.

 මෙවර මලල ක්‍රීඩා තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සඳහා වටිනා මෝටර්  රථ දෙකක් ත්‍යාග ලෙස හිමිවේ. මීට පෙර 2013 නාවලපිටිය ජයතිලක  ක්‍රීඩාංගණයේදී පැවැති 39 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේදී පළමු ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවන ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට මෝටර් රථයක් ත්‍යාග ලෙස ලබා දීමට තීරණය කළ අවස්ථාවේදී එය අනපේක්‍ෂිත ආකාරයෙන් හිමි කර ගත්තේ රිටි පැනීම (කාන්තා) ඉසව්වෙන් අනෝමා කරුණාවංශය. ඒ මීටර් 3.31 ක උසක් පනිමිනි. එය  එම ක්‍රීඩා උළෙලේදී වාර්තා වූ එකම ශ්‍රී ලංකා වාර්තාව ද විය.

මෙවර කණ්ඩායම් ක්‍රීඩා ඉසව් කාන්තා හා පිරිමි ඉසව් 42 ශූරතා 19ක්ම දිනා ගැනීමට සමත්ව තිබෙන්නේද බස්නාහිර පළාත විසිනි. ඔවුන් මෙවර ක්‍රීඩා උළෙලේදී ද මේ වනවිටත් රන් පදක්කම් 72ක් දිනා සමස්ත ශූරතාව සඳහා පිදෙන ජනාධිපති කුසලාන හිමිකර ගැනීම තහවුරු කර අවසන්ය.

ඌව පළාත මෙවර ක්‍රීඩා උළෙලේ සත්කාරය දරන අතර එහි ගිනිසිළුව දැල්වීමේ අවස්ථාවට තෝරාගෙන ඇත්තේ බදුල්ලෙන් බිහිවූ මීටර් 400 කඩුලු ඉසව්වේ ජාතික ශූරයකු වන හරිජන් රත්නායක හා ජාතික පාපන්දු කාන්තා කණ්ඩායමේ හිටපු නායිකාවක වන ශානිකා රාජපක්‍ෂයි.

මෙවර ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ලබන ඉරිදා පස්වරු 1.30ට පැවැත්වෙන සමස්ත උත්සවයේ ප්‍රධාන ආරාධිතයා  ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ආරාධනා ලැබ සිටිති.

ක්‍රීඩා උළලේ නව මලල ක්‍රීඩා තරග වාර්තාවක් සඳහා රුපියල් 50,000 ක්ද, නව ශ්‍රී ලංකා වාර්තාවක් සඳහා රුපියල් ලක්‍ෂයක්ද ප්‍රදානය කෙරේ.

ඒ  හැරෙන්නට කේවල ඉසව් පදක්කම් ලාභීන්ට රුපියල් 15,000 ක්, 10,000 හා 6000 ක්ද වශයෙන් රන්, රිදී හා ලෝකඩ පදක්කම්ලාභී කණ්ඩායමක එක් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවකට රුපියල් 6000 ක්, 4000 ක් සහ 2000 ක් බැගින්ද ප්‍රදානය කෙරේ.

දක්‍ෂතම ක්‍රීඩකයන්ට හා ක්‍රීඩිකාවන්ට රුපියල් 20,000ක් බැගින්ද තිළිණ කෙරේ.  

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මෙතෙක් පදක්කම් සටහන

  පළාත රන් රිදී ලෝකඩ
1 බස්නාහිර 72 54 52
2 මධ්‍යම 22 21 33
3 වයඹ 20 15 31
4 දකුණ 14 23 22
5 උතුරු මැද 14 11 27
6 සබරගමුව 11 15 15
7 ඌව 6 14 13
8 නැගෙනහිර 4 2 5
9 උතුර 1 9 7

අදහස් (0)

ජාතික ක්‍රීඩා උළෙල අනිද්දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.