Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාත්‍යන්තර කබඩි තරගාවලිය ලබන වසරට

ජාත්‍යන්තර කබඩි තරගාවලිය ලබන වසරට

නාමල් පතිරගේ - 2020 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

රටවල් හයක සහභාගීත්වයෙන් කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබූ සයකොන් ජාත්‍යන්තර කබඩි ශූරතා තරගාවලිය ලබන වසරේදී (2021) පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ආධුනික කබඩි සම්මේලය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පැවසුවේ තරගාවලිය මෙම නොවැම්බර් මාසයේදී පැවැත්වීම සඳහා කොළඹ සුගතදාස ගෘහස්ථ පිටිය වෙන් කරවාගෙන තිබූ බවයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය තාවකාලිකව අත්හිටුවා තිබුණද එය ලබන අප්‍රේල් මාසයට පෙර පවත්වා අවසන් කිරීමට දරන උත්සාහය සඳහා මේ වනවිට නැවත ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබා ගැනීමට නොබෝදා ලිපියක් යොමු කළ බවත් කබඩි සම්මේලනයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

සත්කාරක ශ්‍රී ලංකාව හැරෙන්නට ඉන්දියාව, ඉරානය, බංගලාදේශය, පාකිස්ථානය හා දකුණු කොරියාව මෙම සයකොන් ජාත්‍යන්තර කබඩි තරගාවලියට ආරාධනා ලබා සිටින රටවල්ය. අනුර පතිරණ මහතා වැඩිදුරටත් පැවසුවේ ආරාධනා කර සිටි සියළු රටවල් සහභාගීත්වය සනාථ කර සිටි බවයි.

මෙම තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා අනුර පතිරණ මහතා ඉන්දියාවේ සංචාරයක් කරමින් සමස්ත ඉන්දීය කබඩි සම්මේලනයේ ප්‍රධානීන්ද මුණගැසී තිබේ.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා කොළඹදී සූදානම් කෙරෙන මෙම තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා සියළු සහයෝගයන් ලබාදෙන බවට ප්‍රතිඥා දී තිබේ. ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තරගාවලිය කල් දැමීමට සිදුවුවත් එය ලබන වසරේදී පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ සහය තවදුරටත් ලබාදෙන බවයි.

මේ වනවිට දකුණු ආසියාවේ කබඩි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන අතර නේපාලයේදී පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ කබඩි කාන්තා හා පිරිමි රන් පදක්කම් දෙකම දිනා ගත්තේ ඉන්දියාව විසිනි. ඉන්දියාව ලෝක කබඩි ශූරතාව දිනාගත් රට ද වේ.

ශ්‍රී ලංකාව එහිදී පිරිමි රිදී පදක්කම හා කාන්තා ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. වසර 30 කට පසුව ශ්‍රී ලංකාව පිරිමි ඉසව්වේ සාග් රිදී පදක්කම දිනාගත් පළමු අවස්ථාව එය වේ.

මේ අතර තායිවානයේදී පසුගිය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබියදී අත්හිටවූ ලෝක ශූරතා සුදුසුකම් ලැබීමේ තරග වටය සඳහා සූදානම් කළ ජාතික (පිරිමි) කබඩි සංචිතයේ පුහුණුවීම් තවදුරටත් පවත්වාගෙන යන බව කබඩි සභාපතිවරයා පවසයි.

ලෝක කබඩි සම්මේලනය දැනුම්දී ඇත්තේ එම තරග වටය ලබන වසරේ අප්‍රේල් මාසයෙන් පසුව පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි.

අවසන් වරට අහමාබාද් නුවරදී පැවැති 2016 ලෝක කබඩි (පිරිමි) ශූරතා තරගාවලිය ජයගෙන ඇත්තේද ඉන්දියාව විසිනි.


අදහස් (1)

ජාත්‍යන්තර කබඩි තරගාවලිය ලබන වසරට
  • R.m.awishka malinga Friday, 23 July 2021 05:09 PM

    කබඩි ක්‍රීඩාව සඳහා වෙනත් ක්‍රිඩා මෙන් ලංකාවේ ප්ලේස් එකක් නෑ. මෙම ක්‍රීඩාව කරන පාසල් සඳහා රජය සපෝර්ට් කරන්න ඕනෑ. කබඩි කියන්නේ ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක්... සමහරක් ශිෂ්‍යයින් මම වගේ කබඩිවලට කැමැතියි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.