Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික තරගාවලිය පූර්ණ ලීග් පදනමට

ජාතික තරගාවලිය පූර්ණ ලීග් පදනමට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මූලික වටයේදී ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩාංගණවලදී ප්‍රතිවාදීන් එකිනෙකා තරග දෙකකදී මුන ගැසෙන පරිදි මෙවර ජාතික වොලිබෝල් තරග මාලාවේ සුපිරි ලීග් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැළසුම් කර තිබේ. ජාතික වොලිබෝල් තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම් ගැටෙන සුපිරි ලීග් තරගාවලියට කාන්තා හා පිරිමි කණ්ඩායම් අටක් බැගින් ඇතුළත්ව සිටිති.

මෙතෙක් කලක් සුපිරි ලීග් කාන්තා හා පිරිමි තරග මාලා පැවත්වූයේ අර්ධ ලීග් මට්ටමෙන් බවත් නව ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව එය පූර්ණ ලීග් තරගාවලියක් ලෙස පැවැත්වෙන බවත් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

මෙතෙක් සුපිරි ලීග් කාන්තා හා පිරිමි තරගාවලියන්හි මූලික වටය පැවත්වූයේ එහි කණ්ඩායම් අට කාණ්ඩ දෙකකට බෙදා වෙන් කරමිණි. එහිදී එම කාණ්ඩ තරග වට දෙකේදී වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූහ.

වොලිබෝල් සම්මේලනයේ සභාපතිධුරයට පත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා රැස් වූ වොලිබෝල් සම්මේලනයේ නව විධායක කමිටු පළමු රැස්වීමේදී නව තීරණයට පැමිණ තිබේ.

එහිදී නව සභාපති රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වාදී ඇත්තේ රටේ ජනප්‍රියම ක්‍රීඩාවක් බවට ද පත් කිරීම සඳහා ජනාකීර්ණ ප්‍රදේශවල එළිමහන් ක්‍රීඩාංගණවලදී වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් වොලිබෝල් තරග සංවිධානය කළ යුතු බවය. ඒ සඳහා රටේ පිළිගත් ප්‍රබල කාන්තා හා පිරිමි කණ්ඩායම් එළිමහන් තරග සඳහා වැඩි වැඩියෙන් සහභාගි කළ යුතු බවත් සුපිරි ලීග් තරගාවලිය ඊට වඩාත් හොඳ අවස්ථාවක් කර ගත හැකි බවත් වොලිබෝල් සම්මේලන සභාපතිවරයා විධායක සභාවට පෙන්වාදී තිබේ.

ඒ අනුව කාන්තා තරගාවලියේදී මෙන්ම  පිරිමි තරගාවලියේදීද කණ්ඩායම් අට ප්‍රතිවාදීන් එකිනෙකා සමඟ ගැටෙන අතර එහිදී මූලික වටයේදී එක් කණ්ඩායමක් ප්‍රතිවාදීන්ට එරෙහිව තරග හතකට සහභාගි වේ. එවිට සුපිරි ලීග් තරගාවලියේ මූලික වටය තරග 56 කින් සමන්විත වනු ඇත. එම ක්‍රමයට සුපිරි ලීග් මූලික වටයේ තරග දිවයින පුරා ආවරණය වන පරිදි එළිමහන් හා ගෘහස්ථ ක්‍රීඩාංගණ රැසකදී පැවත්වීමට කටයුතු යොදා ඇතැයි වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

එම ක්‍රමය තුළින් වැඩිම ප්‍රසාද ලකුණු ලබා කණ්ඩායම් දෙක අවසන් වන තරග සඳහා සුදුසුකම් ලබන අතර මෙවර ජාතික වොලිබෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
තරගාවලියේ අවසන් මහ තරග ලබන නොවැම්බර් 18 වැනිදා මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පැවත්වීමට මේ වනවිට සැළසුම්කර තිබේ.

මේ අතර වොලිබෝල් සම්මේලනයේ නව විධායක සභාවේ පළමු හමුවේදී ගනු ලැබූ තීරණ අතර වොලිබෝල් සම්මේලනයේ ඉදිරි සිව් අවුරුදු සැළැස්ම පිළිබඳව මෙරට වොලිබෝල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, පුහුණුකරුවන්, උපදේශකයන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කෙරෙන සමුළුවක් ලබන අගෝස්තු 18-19 දෙදින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 


අදහස් (0)

ජාතික තරගාවලිය පූර්ණ ලීග් පදනමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.