Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චන්දිමාල්ගේ දකුණ වොරියර්ස් පිල යුද හමුදාපති ලීගය ජයගනී

චන්දිමාල්ගේ දකුණ වොරියර්ස් පිල යුද හමුදාපති ලීගය ජයගනී

ශානුක අරවින්ද - 2020 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රිකට් කමිටුව සංවිධානය කළ යුද හමුදාපති ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරූ ඩීමෝ දකුණ වොරියර්ස් කණ්ඩායම සමත් විය. දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී සුපර් ෆැෂන් උතුර වොරියර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කරමින් දකුණ වොරියර්ස් ක්‍රීඩකයෝ යුද හමුදාපති කුසලාන දිනාගත්හ.

 ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය උතුර කණ්ඩායමට ඕවර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 150 ක් පමණි. තරගය ජයගැනීම සඳහා උතුරු කණ්ඩායමට අවසන් ඕවර 2 තුළදී ලකුණු 17 ක් රැස්කිරීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා ඔවුන් සතුව කඩුලු 2 ක් ඉතිරිව තිබිණ.

උතුර ඉනිමේ 19 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් කැඳවීමට චන්දිමාල් පියවර ගත් අතර ඒ වන විට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ලකුණු 29 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටීම දකුණ කණ්ඩායමට මහත් හිසරදයක් විය. කෙසේ වුවත් 19 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී දසුන් ශානකගේ කඩුල්ල දවාගත් ලක්මාල් සිය ඕවරයේ අවසන් පන්දුව පිතිකරුවාගේ පිත්තට යටින් කඩුල්ල වෙත යවමින් උතුර කණ්ඩායමේ අවසන් කඩුල්ලද බිඳහෙළා සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

වේගවත් පිතිහරඹයක නිරත වූ උතුර කණ්ඩයමේ නායක සීක්කුගේ ප්‍රසන්න පන්දු 23 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 49 ක් රැස්කිරීමට සමත් වුවද, අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී සුමින්ද ලක්ෂාන්ගේ පන්දුවක් හමුවේ වනිඳු හසරංග අතට උඩ පන්දුවක් දෙමින් දැවීයෑම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. පන්දු 32 කදී වාර්තා වූ දසුන් ශානකගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

අවසන් තරගයේ වීරයා බවට පත්වූ සුමින්ද ලක්ෂාන් සිය ඕවර 4 ලකුණු 22 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර මලින්ද අභිෂේක්, වනිඳු හසරංග සහ සුරංග ලක්මාල් කඩුලු 2 බැගින් දවාගනිමින් උතුර කණ්ඩායමේ පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා සුමින්දට අනගි සහායක් දුන්හ.


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අසන්ත බස්නායක පන්දු 40 කදී ලකුණු 47 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. පන්දු 19 කට මුහුණදුන් වනිඳු හසරංග හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක් රැස්‍කළේය.

ගිහාන් කෝරලගේ (24) සමග එක්ව සිවුවැනි කඩුල්ල් වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බස්නායක, ඉන් නොනැවතී වනිඳු හසරංග (29) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක්ද ගොඩගමින් දකුණ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

තරග 7 කදී අර්ධ ශතක 3 ක් සමග ලකුණු 288 ක් රැස්කළ දිනේෂ් චන්දිමාල් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසත්, තරග 6 කදී කඩුලු 12 ක් දවාගත් තිසර පෙරේරා තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසත් සම්මාන දිනාගත්හ. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට සීක්කුගේ ප්‍රසන්න සමත් වූයේ තරග 7 කදී ලකුණු 176 ක් රැස්කරමින් සහ කඩුලු 9 ක් දවාගනිමිනි.

 

ඩීමෝ දකුණ වොරියර්ස්  - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 159
(ප්‍රියන්ත රත්නායක 18, දිනේෂ් චන්දිමාල් 19, ගිහාන් කෝරලගේ 24, අසන්ත බස්නායක 47, වනිඳු හසරංග 29, හේෂාන් හෙට්ටිආරච්චි 46/2)

සුපර් ෆැෂන් උතුර වොරියර්ස්  - ඕවර 20 කදී සියලු දෙනා දැවී 150
(අෂාන් රන්දික 22, ජානක සම්පත් 17, සීක්කුගේ ප්‍රසන්න 49, දසුන් ශානක 34, සුමින්ද ලක්ෂාන් 22/2, මලින්ද අභිෂේක් 23/2, වනිඳු හසරංග 28/2, සුරංග ලක්මාල් 39/2)

 


අදහස් (0)

චන්දිමාල්ගේ දකුණ වොරියර්ස් පිල යුද හමුදාපති ලීගය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.