Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චතුර ඩිල්ෂාන් සී.එච්. පිල දිනවයි

චතුර ඩිල්ෂාන් සී.එච්. පිල දිනවයි

යොහාන් භාසුර - 2019 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල මෙවර අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේදී නාවික හමුදා පිල පරාජය කරමින් පළමු ජය ලබාගත්තේය.  සිවුවැනි සතියේ තරග ආරම්භ කරමින් කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී ඊයේ පැවැති තරගයේදී සී. එච්. ක්‍රීඩකයෝ ලකුණු 23-21 කින් නාවික හමුදා පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

සී. එච්. පිල ගෝල දෙකකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු රැස්කළේය. නාවික හමුදාවට ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු එකතු විය.

සී. එච්. පිලේ අංක 8 ක්‍රීඩක චතුර ඩිල්ෂාන් තරගයේ අවසන් මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම සැමුවෙල් මධුවන්ත ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් නාවික හමුදාවට අනපේක්‍ෂිත ලෙස පිට පිටම සිවුවැනි පරාජය ලැබීමට සිදුවිය.

නාවික හමුදාව පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-6 ක් ලෙස පෙරමුණේ පසුවද සී. එච්. පිල දෙවැනි අර්ධයේදී ග්‍රහණය වැඩි කරමින් අවසන් මිනිත්තුවේදී ජය තහවුරු කිරීම කැපී පෙනුණි.

නාවික හමුදා පිල වෙනුවෙන් පළමු අර්ධයේදී චතුර සෙනෙවිරත්න දඩුවම් පහර දෙකක් සාර්ථක කිරීමට සමත් විය. එම අර්ධයේදී නාවික හමුදා පිලේ ෆීජි ක්‍රීඩක සිරු කිටෙ ටොගා උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ අතර ඉසුරු කෝන්ගහවත්ත එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ නාවික හමුදා ලකුණු සංඛ්‍යාව 13 ක් බවට පත්විය.

සැමුවෙල් මධුවන්ත පළමු අර්ධයේදී සාර්ථක කළ දඩුවම් පහර දෙක සී. එච්. පිල තරගයේ රඳවා ගත්තේය. චතුර සෙනෙවිරත්න දෙවැනි අර්ධය ආරම්භයේදීම තවත් දඩුවම් පහරක් සාර්ථක කරමින් නාවික හමුදාව ලකුණු 16-6 ක් ලෙස තව දුරටත් පෙරමුණෙන් තැබීය.

ෆීජි ක්‍රීඩක සිරු කිටෙටොගා දෙවැනි උත්සාහක දිනුම නාවික හමුදාවට එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 21-6 ක් බවට පරිවර්ථනය වෙමින් සී. එච්. පිලෙන් තරගය මෑත්වන ආකාරයක් දිස්විය. ජාතික රග්බි කණ්ඩායමේ නායකත්වය ද දැරූ සුදර්ශන මුතුතන්ත්‍රි සිය අත්දැකීම් මනාව ප්‍රයෝජනයට ගනිමින් ගෝල සීමාව ආක්‍රමණය කරමින් ජයග්‍රහණයට හොඳ අඩිතාලමක් දැමීය. එම උත්සාහක දිනුමට සැමුවෙල් මධුවන්ත අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 21-13 ක් බවට පත්විය.

සැමුවෙල් මධුවන්ත තවත් දඩුවම් පහර සාර්ථක කරමින් ලකුණු තත්ත්වය 21-16 ක් බවට පත්කරමින් ජයග්‍රහණයට මුලපුරුවේය. ඒ වන විට ලකුණු පරතරය උත්සාහක දිනුමට සීමාවිය.

තරගය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී චතුර ඩිල්ෂාන් විශිෂ්ට ලෙස සම්පූර්ණ කළ උත්සාහක දිනුමකින් ලකුණු පුවරුව 21-21 ක් ලෙස සම විය. සැමුවෙල් මධුවන්ත එයට අතිරේක ලකුණු දෙක මුසුකිරීමත් සමඟ සී. එච්. පිල ලකුණු දෙකකින් ජය ලැබීය.

පළමු කොටසේ තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් හතර ඇතුළත වසර ගණනාවක්ම රැදී සිටි නාවික හමුදා පිල මෙවර පළමු තරග හතරම පරාජයට පත්වීම වඩාත් කැපී පෙනෙන සිද්ධියක් බවට පත්ව තිබේ.

 


අදහස් (0)

චතුර ඩිල්ෂාන් සී.එච්. පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.