Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝටි 11.4ක බොල් ණය කපා දැමීමෙන් ක්‍රිකට් විශේෂ මහ සභා රැස්වීමේ උණුසුම් විවාදයක්

කෝටි 11.4ක බොල් ණය කපා දැමීමෙන් ක්‍රිකට් විශේෂ මහ සභා රැස්වීමේ උණුසුම් විවාදයක්

යොහාන් භාසුර - 2020 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් සම්බන්ධ විශේෂ කටයුත්තක් සඳහා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පෙරේදා (31 වැනිදා) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහ සභාවේදී එහි වර්තමාන ලේකම් මොහාන් ද සිල්වා සහ හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග යන මහත්වරු අතර උණුසුම් සංවාදයක් ඇති වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදල්වලින් රුපියල් කෝටි 11 කට වැඩි ප්‍රමාණයක් නොලැබෙන මුදල් ලෙස සළකා ඒවා ‘බොල් ණය’ ලෙසින් කපා හැරීමට ලිඛිත යෝජනාවක් සභාවට ඉදිරිපත් කිරීමෙන් මෙම උණුසුම් තත්ත්වය නිර්මාණය වී තිබේ.

මෙම තත්ත්වය මත වාර්ෂික ගිණුම් වාර්තාව ඒකමතිකව සම්මත වී තිබේ. ඒ අනුව රුපියල් කෝටි 11.4 ක මුදල බොල් ණය ලෙසින් කපා හැර තිබේ.

වසර 2015 සහ ඊට පෙර වසරවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදල ලෙස රුපියල් මිලියන 114 කට අධික (රු. 114,044,166) මුදලක් පෙන්වයි. මෙම මුදල් විශේෂ මහ සභාවේදී කපා හැරීමේ යෝජනාව සම්මත කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩිම කාලයක් භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කළ හිටපු භාණ්ඩාගාරික නුස්කි මොහොමඞ් මහතා පැවසූ බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයට ලැබිය යුතු මෙම මුදල් ‘බොල් ණය’ ලෙසින් කපාහැරීම 2018 වසරේ නව විගණන පනතට අනුව මෙන්ම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගණුදෙනු පිළිබඳව විනිවිදභාවය රැකගැනීමට සඳහා සත්භාවයෙන් ගත් පියවරක් බව මොහාන් ද සිල්වා මහතා සභාවට පවසා තිබේ.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2015 වන විට බිලියන හතරක් පමණ ණය වී සිටි බවත් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සහ වර්තමාන සභාපති ශම්මි සිල්වා යන මහත්වරු පත්වීමෙන් පසුව මුදල් සොයාගැනීමෙන් ක්‍රිකට් ආයතනය ගොඩගත් බවත් මොහාන් ද සිල්වා මහතා පවසා තිබේ. මෙම ප්‍රකාශයන් සමගින් විශේෂ මහ සභා රැස්වීම උණුසුම් සංවාදයක් බවට පත්වී තිබේ.

වසර 2015 ලෝක කුසලන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභපතිවරයා වශයෙන් කටයුතු කළේ ජයන්ත ධර්මදාස මහතාය. එම පාලන සමයේ ලේකම්වරයා නිශාන්ත රණතුංග මහතාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට 2015 වසරෙන් පසුව මුදල් ලැබුණු ආකාරය පැහැදිළි කරන ලෙස නිශාන්ත රණතුංග මහතා මෙම අවස්ථාවේදී මොහාන් ද සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
“2015 ට පෙර අපේ පාලනය තුළ රූපවාහිනී විකාශන අයිතිය විකිණීමෙන් සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමඟ අත්සන් කළ එකඟතාවෙන් ලැබුණු මුදල්වලින් තමයි බෝඞ් එක දිව්වේ. නිදහස් කුසලාන තරගාවලියෙන් පමණක් මිලියන 600 ක් පමණක් ලැබී තියෙනවා” යැයි රණතුංග මහතා පවසා තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමඟ පැවැති එකඟතාව සුමතිපාල මහතා මැදිහත්ව වෙනස් කිරීමෙන් වැඩි වාසියක් වූ බවට පැවසීමත් සමගම දෙපාර්ශ්වය අතර සංවාදය දිග්ගැස්සී තිබේ.   
“සුමතිපාල මහතා ඒ සඳහා යෝජනා කළ බවට සාක්‍ෂි තියෙනවද? මම දන්න විදියට නම් ඒක කෙළේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශෂාන්ක් මනෝහර්” යැයි නිශාන්ත රණතුංග මහතා වැඩි දුරටත් පවසා තිබේ.

“අපි, ශ්‍රී ලංකා ක්‍රිකට්, බිලියන දෙකක් ලාභ ලබන තත්ත්වයට ගෙනාවා. ජාතික කණ්ඩායමේ අනුග්‍රහකයාගෙන් විශාල මුදල් ලැබුණා. අයි.සී.සී. එකෙන් වැඩි මුදලක් ලබාගන්න අපි කටයුතු කළා” යැයි මොහාන් ද සිල්වා මහතා පිළිතුරු සැපයීය.

මෙහිදී නිශාන්ත රණතුංග මහතා විසින් සභාපති ශම්මි සිල්වා මහතා විවේචන කරනු ලැබීමත් සමඟ විශේෂ මහ සභාව තව දුරටත් උණුසුම් වූ බව වාර්තා වේ.

“ඔයාලත් එක්ක නිලවරණයට ඉදිරිපත් වූ ජයන්ත ධර්මදාස මහත්තයත් දැන් ඉන්නේ අපිත් එක්ක” යැයි ශම්මි සිල්වා මහතා එහිදී පැවසූ බවද දැනගන්නට තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල මුදලක් සංසරණය වන ආයතනයක් බවත් ‘බොල් ණය’ කපාහැරීම ගිණුම් අවශ්‍යතාවක් වන බවත්ය.

“මෙහිදී අපි පැහැදිළිව සාමාජිකයන්ට ඉදිරිපත් කළා මොනවද කපන්න යන්නේ කියලා. හංගන්න ඕනනම් අපිට විධායක සභාවේ අනුමැතියෙන් ඔය ප්‍රමාද ලැබීම් කපා හරින්න තිබුණා. මෙහිදී 2015 සහ ඊට පෙර නොලැබුණු මුදල් තමයි කපලා තියෙන්නේ” යැයි මොහාන් මහතා වැඩි දුරටත් පැවසීය. 


අදහස් (1)

කෝටි 11.4ක බොල් ණය කපා දැමීමෙන් ක්‍රිකට් විශේෂ මහ සභා රැස්වීමේ උණුසුම් විවාදයක්
  • විජේ Wednesday, 02 September 2020 09:39 AM

    කාලයක් ලංකාවට ක්‍රීඩා කරලා විශ්‍රාම ගිය ක්‍රීඩකයෙක් කිව්වා ලංකාවේ ක්‍රිකට් නැතිවුණේ තිලංගයි, ශම්මියි හින්දා කියලා. එයාට මහින්දානන්ද අමතක වුණා මගේ හිතේ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.