Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුසලානයක් ගෙන්වාගන්න පොලොන්නරුව රාජකීය විද්‍යාලයට ක්‍රීඩා තහනමක්

කුසලානයක් ගෙන්වාගන්න පොලොන්නරුව රාජකීය විද්‍යාලයට ක්‍රීඩා තහනමක්

editorial - 2019 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(හිඟුරක්ගොඩ  ඩබ්. ඒ. පියතිලක)

2019 උතුරු මැද පළාත් පාසල්  මලල ක්‍රීඩා  තරගාවලියේ  මෙවර ශූරතාවය දිනා ගනු ලබන්නේ  පොලොන්නරුව රාජකීය විද්‍යාලය විසිනි. ඒ සඳහා පිරිනමන කුසලානය නැවත උතුරු මැද පළාත්  ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා වෙත ලබා දෙන තෙක් එම විද්‍යාලයේ කිසිදු සිසුවෙකුට උතුරු මැද පළාත තුළ පවත්වන ක්‍රීඩා තරග තහනම් කර ඇති බව දන්වා විද්‍යාලය වෙත ලිපියක්  මගින් දන්වා තිබේ. උතුරුමැද පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.කේ. අබේකෝන් මහතා විසින් මෙම ලිපිය යවනු ලැබ තිබේ.  

පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ පාසල් සංවර්ධන කමිටුවේ ලේකම් වන උපුල් නානායක්කාර ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසීය. ‘‘උතුරු මැද පළාතේ  පාසල් ක්‍රීඩා උත්සවයට මුදල් අනුමත කරන්නේ නෑ කියලා කියන්නේ අමූලික බොරුවක්. අනික එහෙම මුදල් නැත්නම් ඇයි තරග පවත්වන්නේ? තරගයක් දිනුවාම එම ත්‍යාග හෝ කුසලනය නැවත ලබාගන්නේ නෑ. එහෙම නීතියකුත් නෑ. අභියෝගතා කුසලානයත් වුනත් පිට පිට එකම කාණ්ඩායමක් හෝ  පුද්ගලයෙකු තුන් වතාවක් දිනාගත්තොත් එය ද ඔවුන්ට ලබා දිය යුතුයි.  එහෙමයි නීති තියෙන්නේ. අප විද්‍යාලයේ  දරුවෝ මේ  පාසල් මලල ක්‍රීඩා  තරගාවලියේ ශුරතාවය  දැන් අවුරුදු ගණනක් දිනා ගත්තා. අනික මේ නිලධාරින් ඇයි පරණ කුසලාන දෙන්නේ?  දුන්නු කුසලානය නැවත උතුරු මැද පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකවරයාට  දෙන්නේ ඇයි? දරුවන්ගේ දක්ෂතාවය මත ලබා ගත්ත ජයග්‍රහණය... එහෙම නොදුන්නා කියලා  දරුවන්ට ක්‍රීඩා තහනම් කරන්න තියෙන අයිතිය මොකක්ද? මේ  කැකිල්ලේ  තීන්දුව වහාම වෙනස් නොකළොත් අපි උතුරු මැද පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකවරයාට  එරෙහිව නීතිමය කටයුතු කරනවා.‘‘

මේ සම්බන්ධයෙන්  පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ  විදුහල්පති වන රාවිලාල් විජේවංශ මහතා මෙසේ පැවසීය. ‘‘උතුරු මැද පළාත්  පාසල් මලල ක්‍රීඩා  තරගාවලියේ  ශූරතාවය  2016 වර්ෂයේ ඉඳලා 2019 වසර දක්වා පිට පිට හතර වතාවටත් දිනා ගත්තා. ගිය වසර තුන තුළම ඒ සඳහා ලබා දුන් කුසලාන අපි සතුව තිබෙනවා. මේ ගමන ලබා ගත් ශූරතා කුසලානය නැවැත ඉල්ලා සිටිනවා. එය ලබා නොදී සිටිනවා නම් මේ 13 දින උතුරු මැද පලාත් පිහිනුම් තරගයට සහ ඉදිරියේ  මේ පළාත තුල පැවැත්වෙන  කිසිඳු ක්‍රීඩා තරගකයකට අප විද්‍යාලයේ දරුවන්ට  තහනම් කර ඇති බව දන්වා මා වෙත ලිපියක් එවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මා විද්‍යාලීය දරුවන්  සහ  දෙමාපියන් දැනුවත් කළා.‘‘

මේ සම්බන්ධයෙන්  උතුරු මැද පළාත්  සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන, හා ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂක වයි.එම්.එච්.කේ. අබේකෝන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘‘පළාත් අධ්‍යාපන අධක්ෂකවරයා උතුරු මැද පළාත්  මලල ක්‍රීඩා උත්සවය සඳහා කිසිදු මුදලක් ලබා  දුන්නේ නෑ. මෙම මලල ක්‍රීඩා තරගාවලියේ  විනිසුරුවරු, දරුවන්ට කෑම වගේ ඒවට විතරයි මුදල් අනුමත කරලා තිබුණේ.  නමුත් අවසන් දින උත්සවය සඳහාත්, කුසලාන සඳහාත් පළාත් අධ්‍යක්ෂකවරයා විසින් සත පහක්වත් දුන්නේ නැහැ. 

අවසන් දින උත්සවයක් තියන්න ඕනෙ නිසා අනුග්‍රාහකයන් කීප දෙනෙක් සම්බන්ධ කර ගත්තා. මා සතුව කුසලාන 20ක් විතර තියෙනවා. එවා අළුත් කරලා තමයි ජයග්‍රාහි  කණ්ඩායම් සඳහා දුන්නේ.  මේ කුසලාන 20 උත්සව ගණනාවකට දීලා නැවැත ලබාගෙන තියෙනවා. පොලොන්නරුව රාජකීය විද්‍යාලයටත් එහෙම එකක් තමයි දුන්නේ නැවැත ගන්න බලාගෙන. නමුත් ඒක විදුහල්පතිවරයා ආපසු දෙන්නේ නෑ. ඒ නිසා තමයි මම ලිපියක් දැම්මේ විද්‍යාලයට තරග තහනමක් දානවා කියලා. ඒ කුසලානය රුපියල් 30000ක් විතර වටින එකක්. ඒවා මං හොයාගත්ත ඒවා. පළාත් අධ්‍යක්ෂකවරයා මේවාට මුදල් දෙනවා නම්  මෙහෙම දෙයක් වෙන්නේ නෑ.  නමුත් ඒ ලිපියේ පරිදි තරග තහනමක් සිදු වෙන්නේ නෑ. 13වෙනි දින පැවැත්වෙන තරග සඳහා  රාජකීය විදුහලට අවස්ථාව තියෙනවා..‘‘

උතුරු මැද පළාත් අධාපන අධ්‍යක්ෂක වන ජේ.කේ.යු. ඒ. ජයලත් මහතාගෙන් මෙම සියලු තොරතුරු පිළිබඳ  විමසීම සඳහා රාජකාරි සහ ජංගම දුරකථන සඳහා ඇමතුම් ලබා ගත්තද කිසිඳු ප්‍රතිචාරයක් නොලැබිණ.

පසුව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා වන සරත් ඒකනායක මහතාගෙන් විමසීමක් කරන ලදී. ‘‘මේ පළාත තුළ රජය විසින් පවත්වන අධ්‍යාපන හෝ වෙනත් දේශපාලන නොවන  සෑම උත්සවයක් සඳහාම ඒ ඒ ආයතන සඳහා මුදල් ලබා දීම කර තිබෙන්නේ. කොහොම නමුත් මොනම ප්‍රශ්නයක් තිබුණත්  පාසල් සහ එහි අධ්‍යාපනය ලබන සිසුන්ගේ අධ්‍යාපනයට හෝ වෙනත් කටයුතුවලට බාධාවෙන අයුරින් කිසිදු තීන්දුවක් ගැනීමට කිසිම නිලධාරියෙකුට අවසරයක් නෑ. මම මේ සම්බන්ධයෙන් වහාම දැන්මම ක්‍රියාත්මක වෙලා පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ  දරුවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් මා ඉල්ලා සිටිනවා  කුසලානය සම්බන්ධයෙන් අධ්‍යාපන නිලධාරීන් විසින් කර ඇති දැනුම් දීම නොසලකා හැර  උතුරු මැද පළාත තුළ පමණක් නොව දේශිය හෝ විදේශිය ඕනෑම තරගයකට ඉදිරිපත් වීමට අවස්ථාව තිබෙන බව ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියේය.

 

ජයග්‍රහණය සඳහා ලබා දුන් කුසලානය  

 

උතුරු මැද පළාත්  සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන, හා ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂක වයි. එම්. එච්. කේ අබේකොන් මහතා   විසින්  රාජකිය විද්යාලයට එවන ලද ලිපිය 


අදහස් (0)

කුසලානයක් ගෙන්වාගන්න පොලොන්නරුව රාජකීය විද්‍යාලයට ක්‍රීඩා තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.