Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කායවර්ධන සම්මේලනයේ නිලවරණයට ලියාපදිංචි වූ සංගම් ව්‍යවස්ථාවට පටහැණියි

කායවර්ධන සම්මේලනයේ නිලවරණයට ලියාපදිංචි වූ සංගම් ව්‍යවස්ථාවට පටහැණියි

නාමල් පතිරගේ - 2020 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය සඳහා ලියාපදිංචි කර ඇතැයි කියන දිස්ත්‍රික් හා අනුබද්ධ සංගම් 17කින් බහුතරයක් ව්‍යාජ මෙන්ම කායවර්ධන සම්මේලනයේ ව්‍යවස්ථාවට පටහැනිව යමින් පිහිටුවා ගත් ඒවා බවට එම සම්මේලනයේ හිටපු ලේකම් නිහාල් විරතුංග මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලිකර තිබේ. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාව ඊයේ (21) ක්‍රීඩා අමාත්‍යාංශයේදී මුණ ගැසෙමින් එම පැමිණිල්ල ඉදිරිපත් කර සිටි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ නිලවරණය සඳහා එයින් නිත්‍යානුකූලව සහභාගි කර ගත හැක්කේ දිස්ත්‍රික් සංගම් 6 ක් පමණක් බවයි.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මුණගැසීමට දිස්ත්‍රික් සංගම් නියෝජිතයන් පිරිසක්ද සහභාගිවී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සියලුම දිස්ත්‍රික් හා වෙනත් අනුසංගම්හි සභාපතිවරුන් හා ලේකම්වරුන් වෙත ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ලිපියකට අනුව එම දිස්ත්‍රික් හා අනු සංගම්හි ක්‍රියාකාරිත්වය හා සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා ඔවුන්ට ලබන අඟහරුවාදා (29 වැනිදා) පෙරවරු 10.00 ට ටොරින්ටන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා සංගම් පියස වෙත පැමිණෙන ලෙස දන්වා තිබේ.  

ක්‍රීඩා අමාත්‍යංශය ලබාදුන් සහන කාලයද අනුව කායවර්ධන සම්මේලනය පසුගිය අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණය (2020-22) කැඳවීමට අපොහොසත්ව සිටින බැවින් එය ඉදිරියේදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ භාරයේ පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ 2020 අගෝස්තු 8 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුකූලවය.

කායවර්ධන සම්මේලනයේ නිලවරණය මෙතෙක් පැවැත්වූයේ ක්‍රීඩා සමාජ ඡන්ද පදනම් කර ගනිමිනි. එහෙත් හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා 2016 ඔක්තෝබර් 27 වැනිදා හඳුන්වා දුන් ක්‍රීඩා පනතේ නව රෙගුලාසි ප්‍රකාරව එහි නිලවරණය දිස්ත්‍රික් හා අනුසංගම් ඡන්ද පදනම් කර ගනිමින් පැවැත්විය යුතුය.

ශ්‍රී ලංකාවේ පැරැණිතම ජාතික ක්‍රීඩා සංගමයක් ලෙස සැළකෙන කායවර්ධන සම්මේලනය 1974 ජුනි 2 වැනිදා නිල වශයෙන් ස්ථාපිත කර තිබේ. එය ස්ථාපිත වූයේ 1974 මැයි 7 වැනිදා ස්ථාපිත කළ ශ්‍රී ලංකා ආධුනික බර ඉසිලීමේ හා කායවර්ධන සම්මේලනය එකී ක්‍රීඩා ඉසව් දෙකේ පරිපාලන ඒකක දෙකකට බෙදා වෙන් කෙරීමෙනි. පසුව බර ඉසිලීමේ සම්මේලනයද ඒ අනුව වෙනම ක්‍රීඩා පරිපාලන ඒකකයක් ලෙස ස්ථාපිත කෙරුණි.

මේ අතර  ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මුණ ගැසුණු කායවර්ධන සම්මේලනයේ හිටපු ලේකම්වරයා දිස්ත්‍රික් සංගම් ස්ථාපිත කිරිමේදී වැරැදි හා අඩුපාඩු ගණනාවක් පෙන්වා දී තිබේ.

කොළඹ, යාපනය, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික් කීපයක සංගම් දෙකක් බැගින් පිහිටුවා තිබීම නීත්‍යානුකූලව පිහිටූ ඇතැම් දිස්ත්‍රික් සංගම් මෙතෙක් මව් සංගමයේ ලියාපදිංචි නොකිරීම, නීත්‍යානුකූලව එසේ  පිහිටුවූ ඇතැම් දිස්ත්‍රික් සංගම් සම්මේලනයේ අනුමත සංගම් නාමලේඛනයට ඇතුළත් නොකිරීම, හිටපු ලේකම්වරයා ලෙස තමන් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කළ නීත්‍යානුකූල දිස්ත්‍රික් සංගම් ලේඛණයෙන් බැහැරව නිලවරණය සඳහා වෙනත් දිස්ත්‍රික් සංගම් ගණනාවක්ද ඇතුළත් කිරීම හා එම සංගම්ද ලබන අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවට කැඳවීම ඔහු පෙන්වාදී තිබෙන වැරැදි සහගත හා අනුකූල නොවන බව කියන කරුණු වේ.

සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතාගෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ ලබන අඟහරුවාදා කැඳවා තිබෙන සාකච්ඡාවේදී කායවර්ධන සම්මේලනයේ නිලවරණයට සහභාගි කර ගන්නා දිස්ත්‍රික් හා සංගම් පිළිබඳව තීරණය කෙරෙන බවයි.

කායවර්ධන සම්මේලනයේ අලුත් ව්‍යවස්ථාවට අනුව නිලවරණයට හවුල් කර ගන්නා දිස්ත්‍රික් කලාප සංගම් හා අනු සංගම් ගණන 25කි. දිස්ත්‍රික් සංගම් හැරෙන්නට තීරකවරුන්ගේ සංගමය, පුහුණුකරුවන්ගේ සංගමය හා ප්‍රවීනයන්ගේ සංගමය ලෙස ක්‍රියාකාරීව පවතින අනුසංගම් ගණන තුනකි.

 


අදහස් (0)

කායවර්ධන සම්මේලනයේ නිලවරණයට ලියාපදිංචි වූ සංගම් ව්‍යවස්ථාවට පටහැණියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.