Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාය වර්ධන නිලවරණය අප්‍රේල් 10 දා

කාය වර්ධන නිලවරණය අප්‍රේල් 10 දා

නාමල් පතිරගේ - 2021 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය ලබන අප්‍රේල් 10 වැනිදා පැවැත්වීමට තීරණය වී තිබේ. වසර හයක් ඉක්මවීමෙන් පසුව කායවර්ධන සම්මේලනයේ  පැවැත්වෙන නිලවරණ මෙයයි. පළමු වතාවට දිස්ත්‍රික් හා ව්‍යවස්ථාපිත විශේෂ සංගම් සඳහා ඡන්ද බලය ප්‍රදානය කරමින් මෙම  නිලවරණය කැඳවීමට කටයුතු කෙරේ.

කායවර්ධන සම්මේලනයේ නිලවරණයේදී මෙතෙක් විධායක සභාව පත් කරගැනීමේ ක්‍රමවේදය වූයේ ක්‍රීඩා සමාජ විසින් ඡන්දය ප්‍රකාශ කිරීමයි.

මෙරට කායවර්ධන ක්‍රීඩා පරිපාලනයේ නොවිසඳුණු අර්බුද හේතුවෙන් නිලවරණය වසර කීපයක් තිස්සේ කල් දැමීමට සිදුවිය. සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මගින් ක්‍රීඩා සමාජවලට එතෙක් හිමිව තිබූ ඡන්ද බලය දිස්ත්‍රික් හා ව්‍යවස්ථාපිත - විශේෂ යන කාණ්ඩ දෙකකට අයත් කායවර්ධන සංගම් වෙත පිරිනමා තිබේ.

කායවර්ධන ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මේ වනවිට දිස්ත්‍රික් සංගම් හයක් පමණක් නිල වශයෙන් පිළිගෙන තිබේ. ඒ ගම්පහ, යාපනය, මහනුවර, කොළඹ, කුරුණෑගල හා මොනරාගල යන දිස්ත්‍රික් සංගම්ය. ඒ හැරෙන්නට ව්‍යවස්ථාපිත - විශේෂ සංගම් තුනකි. පුහුණුකරුවන්ගේ සංගමය, විනිසුරුවන්ගේ සංගමය හා ප්‍රවීණයන්ගේ සංගමය යන ව්‍යාවස්ථාපිත විශේෂ කාණ්ඩයේ සංගම් තුනකට ද එහිදී ඡන්ද බලය හිමිව තිබේ.

මේ අතර නිලවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා පසුගිය ජනවාරි 20 වැනිදා කැඳවූ කායවර්ධන සම්මේලනයේ අති විශේෂ මහ සභා රැස්වීම ගාලගෝට්ටි යක් වූ බවද වාර්තා වේ. ඊට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ දිස්ත්‍රික් සංගම් නියෝජනය කරමින් පාර්ශ්ව කීපයක් බැගින් ඒ සඳහා සහභාගි වී සිටීමය.

නිලවරණය මෙහෙයවන කමිටුවේ සභාපතිවරයා ලෙස එහිදී තෝරාගෙන ඇත්තේ විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු උපාලි සමරසිංහ මහතාය.

අවසන් වරට වසර 2015 මැයි මාසයේදී කායවර්ධන සම්මේලනයේ නිලවරණය (2015-17) කැඳවා තිබේ. එයින් පසුව සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ කටයුතු ඇතුළුව එහි පාර්ශ්ව කීපයක් අතර දිගින් දිගටම අර්බුද පැන නැගීම හමුවේ මහේෂ් ගම්මන්පිල මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවක් ප්‍රකාශයට පත්විය. පසුව එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ ඉල්ලා අස්වූහ.

වසර 2019 මාර්තු 7 වැනිදා පැවැති අතුරු කමිටුවේ විශේෂ මහ සභා රැස්වීමකදී එහි කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම සඳහා කායවර්ධන සම්මේලනයේ හිටපු ලේකම් නිහාල් වීරතුංග මහතා පත්කර ගැනුණි.

වාර්තා වන පරිදි කොළඹ දිස්ත්‍රික් කායවර්ධන සංගමයේ එක් පාර්ශ්වයක සභාපති ධුරය දරන චන්දන අළුත්ගේ මහතා මීළඟ නිලවරණයේදී සභාපති ධුරයට නාමයෝජනා බාරදෙන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

අවසන් වරට කායවර්ධන සම්මේලනයේ සභාපති ධුරය (2015-17) හෙබවූයේ කිත්සිරි ප්‍රනාන්දු මහතාය. ඔහු ඇතුළුව විධායක සභාවේ කටයුතු කළ තවත් නිලධාරීන් ගණනාවකට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විමර්ශන ගණනාවක් පැවැත්වූවද මේ දක්වා එහි වාර්තා නිල වශයෙන් නිකුත් වී නැත.


අදහස් (0)

කාය වර්ධන නිලවරණය අප්‍රේල් 10 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.