Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් දිනය වෙනුවෙන් නව කොරල් පර

ඔලිම්පික් දිනය වෙනුවෙන් නව කොරල් පර

editorial - 2019 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 (ශානුක අරවින්ද) 

සෑම වර්ෂයකම ජූනි මස 23 වැනිදාට යෙදී ඇති අන්තර්ජාතික ඔලිම්පික් දිනය සැමරීමේ අරමුණින් මේ මස 25 වැනිදා මාතර පොල්හේන වෙරළ තීරයේ සිට උයන්වත්ත ක්‍රීඩංගණය දක්වා ඔලිම්පික් දින ධාවනයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබේ. කිලෝ මීටර් 4 ක දුරක් ආවරණය කරමින් පැවැත්වෙන මෙම ධාවනයට මාතර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 1000 කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය. 

මෙවර ඔලිම්පික් දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහභාගි වෙයි. විශේෂ ආරාධිතයකු ලෙස සුසන්තිකා ජයසිංහ මහත්මියද සහභාගි වීමට නියමිතය. සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් වසර 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලේදී දිනාගන්නා ලද රිදී පදක්කම මාතර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ට දැක ගැනීමට එදින අවස්ථාව සලස්වා තිබේ. 

මෙම සැමරුම් ධාවනයට ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන්, ජාතික ක්‍රීඩා සංගම්වල නිලධාරීන් මෙන්ම ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ද සහභාගි වීමට නියමිතය. සැමරුම් දිනය තවත් විචිත්‍රවත් කරමින් පොල්හේන වෙරළ තීරය ආශ්‍රිතව වෙරළ සහ ජල ක්‍රීඩා ප්‍රදර්ශනයක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර තිබේ. 

ඔලිම්පික් දින සැමරුමට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ සිසුන් 50 දෙනෙකුගේ සහභාගි කරවාගෙන ඔලිම්පික් වටිනාකම් තේමාව මූලික කරගත් චිත්‍ර තරගාවලියක් පැවැත්වීමටද ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු සූදානම් කර තිබේ. තවද ඊට සමගාමීව මෙම වර්ෂය තුළදී ක්‍රීඩාවට මෙන්ම ස්වභාවධර්මයටද වටිනාකමක් එක් කරමින් පරිසර සංරක්ෂණ වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීමටද ඔලිම්පික් කමිටුව සැලසුම් කර තිබේ. 

එහිදී මාතර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් මෙන්ම තවත් රාජ්‍ය ආයතන කිහිපයක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ඔලිම්පික් සැමරුම් දින උදෑසන පොල්හේන වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉන් අනතුරුව, පොල්හේන මුහුදු තීරය ආශ්‍රිතව කොරල්පර වගා කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත. 

මෙම කොරල්පර වගා කිරීමේ ව්‍යාපෘතියට ජාතික ඔලිම්පික් කමිටුව සමග ශ්‍රී ලංකා නාවික හමුදාව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය, සමුද්‍ර සම්පත් සුරකින්නන්ගේ සංවිධානය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියද අනුග්‍රහය දක්වයි. 

 


අදහස් (0)

ඔලිම්පික් දිනය වෙනුවෙන් නව කොරල් පර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.