Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් දින සැමරුමට ‘මී’ ගසක් සිටුවයි

ඔලිම්පික් දින සැමරුමට ‘මී’ ගසක් සිටුවයි

editorial - 2020 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ක්‍රීඩාවේ විශේෂිත දිනයක් වන ජූනි මස 23 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර ඔලිම්පික් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකීරා සුගීයාමා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් ටොරින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේදී ඊයේ (23 වැනිදා) පැවැත්විණි. ‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් මෙවර ඔලිම්පික් දිනය සැමරුම් ධාවනය අවලංගු කරමින් සෞඛ්‍ය උපදෙස් අනුව කෙටි සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණ.

මෙහිදී ජපන් තානාපතිවරයා ‘නව ජීවයක් සඳහා ගසක් සිටුවමු’ යන තේමාව යටතේ ‘මී’ ගසක් රෝපණය කළේය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සෙසු ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාව පුරා පසුගිය සති දෙක තුළ ගස් 300 ක් පමණ රෝපණය කළ බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.  

එම අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රනියම්, එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහත්වරුද විශේෂ අමුත්තන් ලෙස ඔලිම්පික් රිදී පදක්කම් ලාභිනී, හිටපු කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරග තීරක රොෂාන් මහානාම සහ හිටපු කෙටි දුර ධාවන ශූරයකු වන සූමා නවරත්නම් යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් සහභාගි වූහ.  

වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක ක්‍රීඩා පිටියේ මහා මංගල්‍ය ලෙස හැදින්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ වසරේ ජූලි මස 23 වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතව තිබිණ. එහෙත් ‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් මෙම ක්‍රීඩා උළෙල ලබන වසර දක්වා කල්දැමීමට සිදුවිය. 


අදහස් (0)

ඔලිම්පික් දින සැමරුමට ‘මී’ ගසක් සිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.