Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔට්ටු බාරගන්නා ආයතනයකට එරෙහිව පැමිණිල්ලක්

ඔට්ටු බාරගන්නා ආයතනයකට එරෙහිව පැමිණිල්ලක්

නාමල් පතිරගේ - 2020 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනා නගමින් දේශීය ඔට්ටු  බාරගන්නා සමාගමකට එරෙහිව පොලිස් විශේෂ ක්‍රීඩා විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

වඩු කාර්මිකයෙකු බව කියන පුද්ගලයෙකු විසින් ගොනු කර තිබෙන මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු අධ්‍යනයකින් පසුව එහි නඩු නිමිත්තක් තිබේදැයි විමසීම සඳහා එය නීතිපතිවරයාට යොමු කරන බව පොලිස් විශේෂ ක්‍රීඩා විමර්ශන ඒකකයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ ය කළ විමසුමකදී ජගත් ෆොන්සේකා මහතා පැවසුවේ අදාළ පැමිණිල්ලට අනුව චෝදනා ලබා සිටින දේශීය ඔට්ටු  බාරගන්නා සමාගම ක්‍රිකට් තරග සඳහා ඔට්ටු බාර ගැනීමේ ක්‍රියාවලියේදී තරග පාවාදීමේ සිදුවීම් නිරීක්ෂණය වන බව අදාළ පැමිණිල්ලෙන් කියවෙන බවයි.

එම සමාගම ශ්‍රී ලංකාව ඇතුළුව වෙනත් රටවල් සහභාගී වන ඇතැම් ක්‍රිකට් තරගවලදී ජයග්‍රහණය ලබන කණ්ඩායම්, වැඩිම ලකුණු ලාභීන්, වැඩිම කඩුලු ලාභීන් පිළිබඳව පූර්ව නාමලේඛන හා අනුමාන වාර්තා ඉදිරිපත් කරමින් ඔට්ටු අල්ලන්නන් දිරිමත් කරන බවත්  එය තරග පාවාදීමේ සැකයට තුඩුදෙන්නක් බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා තිබේ.

ඒ පිළිබඳව කරුණු විමසීමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසුවේ පැමිණිල්ල සිය විමර්ශන ඒකකය වඩාත් පරිස්සමෙන් අධ්‍යයනය කරමින් මේ වනවිටත් චෝදනාලාභී ඔට්ටු සමාගමේ නිලධාරීන් කීපදෙනකුගෙන් කට උත්තර ලබාගෙන තිබෙන බවත්ය.

පසුගිය පෙබරවාරි 15 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී ස්ථාපිත කළ පොලිස් ක්‍රීඩා විශේෂ විමර්ශන ඒකකයට මේ වනවිට ලැබී තිබෙන පැමිණිලි ගණන දෙකකි. මුල්ම පැමිණිල්ල ලැබී ඇත්තේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට එරෙහිව තරග පාවාදීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. පසුගිය දෙසැම්බර් මාසයේ නේපාලයේ කත්මණ්ඩු නුවරදී නිමාවට පත්වූ  13 වැනි සාග් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමක් සම්බන්ධයෙන් ලැබුණු එම පැමිණිල්ලෙන් කියැවෙන්නේ එහිදී පැවති පාපැදි ක්‍රීඩා ඉසව්වක් සඳහා  සූදානමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මොහොතේ ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කිරීම තරග පාවාදීමේ සැකයට තුඩුදෙන බවයි.

මීට පෙර ජාතික ඔලිම්පික් කමිටුවට එරෙහිවද ක්‍රීඩකයන් විදේශයකදී අතුරුදන් කිරීම ගැන පැමිණිල්ලක් ඉදිරිපත් වුවද එය අතීතයට බලපාන සිදුවීමක් බැවින් එය විභාග කිරීම විමර්ශන ඒකකය බැහැර කර තිබේ.

මේ දිනවල කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රටේ හදිසි තත්ත්වයක් උද්ගතව තිබුණත් සිය විමර්ශන ඒකකයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත් එහි ප්‍රධානියා අවධාරණය කරයි.

සිය විමර්ශන ඒකකය වැරදිකරුවන්ට දඬුවම් දෙන ස්ථානයක් නොවන බවත් දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ දූෂණ වංචා හා විෂමාචාර ක්‍රියා හෙළි කර ගැනීම තුළින් හෙට දිනයේ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත් යහපත් ස්ථානයක් බවට පත් කිරීම සිය විමර්ශන ඒකකයේ මූලික අභිප්‍රාය බවත් ඔහු පවසයි.

පෞද්ගලික අරමුණු හා පළිගැනීම් චේතනාවෙන් පෙරදැරිව ඉදිරිපත් වන පැමිණිලි පිළිබඳව සිය ඒකකයට හොඳ වැටහීමක් තිබෙන බවත් එවැනි පැමිණිලි ගණනාවක් පසුගිය කාලයේ ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.

පොලිස් හා බුද්ධි අංශයේ නිලධාරීන් 14 දෙනකුගෙන් සමන්විත මේ වන විට ක්‍රියාත්මක පොලිස් ක්‍රීඩා විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස පොලිස් අධිකාරි එස්.එම්.ජේ. සමරනායක මහතා කටයුතු කරයි.

 


අදහස් (0)

ඔට්ටු බාරගන්නා ආයතනයකට එරෙහිව පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.