Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්ලේ සම්මේලන නිලවරණය අවදානම් ලයිස්තුවට

එල්ලේ සම්මේලන නිලවරණය අවදානම් ලයිස්තුවට

නාමල් පතිරගේ - 2020 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගණපූර්ණය නොමැතිවීමේ අවදානම මත මේ මස 29 වැනිදා කැඳවීමට නියමිත ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය අර්බුදයකට  යන ලකුණු පළවී ඇතැයි වාර්තා වේ. මෙම තත්ත්වය තවදුරටත් තීව්ර කරමින් මේ මස 29 වැනිදාට කැඳවා තිබෙන නිලවරණයේ දී විධායක සභාවේ පිරවිය යුතු තනතුරු 23 ක් සඳහා සුදුසුකම් ලබා ඇත්තේ අට දෙනකු පමණි.

එල්ලේ සම්මේලනයේ සභාපති ධුරය සඳහා ජේ.ජේ. ජයතිස්ස මහතා නිතරගයෙන් පත්වීම් ලබන අතර ලේකම් හා භාණ්ඩාගාරික යන ධුර සඳහාත් එක් නාමයෝජනාවක් බැගින් ලැබී තිබෙන බැවින් ඒ සඳහා වන පත්වීම්ද නිතරගයෙන් සිදුවනු ඇත.

රාගම ‘නව එකමුතු’ ක්‍රීඩා සමාජයේ එස්.එම්. ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ලේකම් ධුරයටත් කිරිල්ලවල ‘සේශක්ති’ ක්‍රීඩා සමාජයේ කේ.එම්.එස්. ප්‍රියංකර මහතා භාණ්ඩාගාරික ධුරයටත් එහිදී නිතරගයෙන් පත්වීමට නියමිතය.

මෙවර නිලවරණයේ දී සභාපති ධුරයට නිතරගයෙන් පත්වීමට නියමිත ජයතිස්ස මහතා පමුණුගම ‘සීලෑන්ඩ්’ ක්‍රීඩා සමාජය නියෝජනය කරයි. කෙසේ වුවත් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී සිටින එල්ලේ සම්මේලනයේ වත්මන් සභාපති සහන් ප්‍රදීප් මහතා මෙන්ම වත්මන් ලේකම් සිරිල් පෙරේරා මහතාද මෙවර නාමයෝජනා බාරදීමෙන් වැළකී සිටීම කැපී පෙනේ.

කෙසේ වුවත් මෙවර නිලවරණයට ඉදිරිපත්වූ නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා විභාගය නිලවරණ කමිටුව විසින් පසුගිය සිකුරාදා (14) සිදුකළ අතර එහිදී කාරක සභාව සඳහා ඉදිරිපත්වූ නාමයෝජනා දෙකක් ප්‍රතික්ෂේප කෙරිණ.

එල්ලේ සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ ගණන 184 ක් වුවත් මෙවර නිලවරණයට ඉල්ලුම් කර ඇත්තේ ක්‍රීඩා සමාජ 23 ක් පමණි.

එහිදී නිලවරණය කැඳවෙන එල්ලේ සම්මේලනයේ මහ සභාවක් පැවැත්වීම සඳහා අවම සාමාජිකත්වයෙන් තුනෙන් එකක් රැස්විය යුතුය.
මින් පෙර එහි අවමය 40 ක් ලෙස දැක්වුවත් එල්ලේ සම්මේලනයේ ව්‍යවස්ථා සංශෝධනයට අනුව නම් මෙවර මුළු සාමාජිකත්වයෙන් තුනෙන් එකක් වන්නේ අවම සාමාජිකයන් 61 දෙනෙකි.

මෙවර නිලවරණයට ඉදිරිපත්වූ නාමයෝජනා අතර පෑලියගොඩ රංගිකා ක්‍රීඩා සමාජයේ චමින්ද ජගත් කුමාර මහතා උපලේකම් ධුරයටත් චාමර සේරසිංහ මහතා ජාතික සංවිධායක ධුරයටත් නිතරගයෙන් පත්වීමට නියමිතය. එල්ලේ සම්මේලනයේ වත්මන් විධායක සභාවේද ජාතික සංවිධායක ධුරය දරන සේරසිංහ මහතා තොටළඟ අරුණ ක්‍රීඩා සමාජය නියෝජනය කරයි.

එල්ලේ සම්මේලනයේ කාරක සභිකයන් ගණන 11 දෙනකු වුවත් ඒ සඳහා මෙවර ඉල්ලුම් කළ අය අතරින් ඒ. සත්‍යදාස (සඳලංකාව තරුණ තරු) නිහාල් ජයතිස්ස (වැල්ලම්පිටිය රණකාමී) තිලකානන්ද පෙරේරා (බැන්ඩියාවත්ත එක්සත්) යන මහත්වරුන්ගේ නාමයෝජනා පමණක් නිලවරණ කමිටුවෙන් නිර්දේශ වී තිබේ. ඒ සඳහා වත්මන් කාරක සභික ලයනල් ජෝතිරත්න මහතා මෙවර ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේපවීම කැපී පෙනේ.

එල්ලේ නිලවරණය මේ මස 29 වැනිදා පෙරවරු 10.00 ට කඩවත නුවර පාරේ සුමිත්‍රා උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතය. කෙසේවුවත් උද්ගතවී තිබෙන කරුණු අනුව එල්ලේ සම්මේලනයේ නිලවරණය පැවැත්වීමේදී මුහුණදී තිබෙන ගැටළු සම්බන්ධයෙන් එහි වත්මන් ලේකම් සිරිල් පෙරේරා මහතා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුවත් කිරීමේ ලිපියක් යවා තිබේ.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පිළිතුර අනුව නිලවරණය එදිනට පැවැත්වීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව ඒ පිළිබඳව කළ විමසුමක දී සිරිල් පෙරේරා මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

 


අදහස් (0)

එල්ලේ සම්මේලන නිලවරණය අවදානම් ලයිස්තුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.