Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය ‘ඒ’ පිලට කඩුලු 10 ක ජයක්

ඉන්දීය ‘ඒ’ පිලට කඩුලු 10 ක ජයක්

editorial - 2019 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් පන්දු යවන්නන් තිදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව බෙලගාවිහිදී පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අද (8 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය ‘ඒ’ ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 243 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ‘ඒ’ කණ්ඩායම කිසිවකු නොදැවී පහසුවෙන්ම එම ඉලක්කය සපුරා ගත්තේය. ආරම්භක පිතිකරුවන් වූ රුතුරාජ් ගයික්වාඞ් (නොදැවී 125) සහ ශුබ්මන් ගිල් (නොදැවී 109) පන්දු 180 කදී ලකුණු 226 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

එහිදී පන්දු 94 කට මුහුණදුන් ගයික්වාඞ්, හයේ පහර 4 කින් සහ හතරේ පහර 14 කින් සිය ශතකය අලංකාර කළේය. පන්දු 96 කදී වාර්තා වූ ශුබ්මන්ගේ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 14 ක් අන්තර්ගත වූ අතර ජයග්‍රහණයට ලකුණු 17 ක් පසුපසින් සිටියදී ආබාධයකට ලක්ව ඔහු පිටියෙන් ඉවත්ව ගියේය.

ඉන්දීය පිතිකරුවන් දමනය කිරීම සඳහා තමාද සමගින් පන්දු යවන්නන් 7 දෙනකුගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක අෂාන් ප්‍රියන්ජන් පියවර ගත්තද, ඔවුන් කිසිවකුට කඩුලු දවාගැනීමට නොහැකි විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 242 ක් ලබාගත්තේය. එහිදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ෂෙහාන් ජයසූරිය පන්දු 139 කින් ලකුණු 101 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගිනි. එය ඔහු මෙම තරගාවලියේදී පිට පිටම ලබාගත් දෙවැනි ශතකය විය.

අටවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඉෂාන් ජයරත්න පන්දු 73 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකණු 79 ක් ලබා ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය. ලකුණු 81 කට කඩුලු 6 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ෂෙහාන් සමග එක්වූ ඉෂාන්, ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 153 කදී ලකුණු 143 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය.


ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 242
(ෂෙහාන් ජයසූරිය 101, දසුන් ශානක 20, ඉෂාන් ජයරත්න නොදැවී 79, ශවම් ඩූබ් 47/2, තුෂාර් දේශ්පාණ්ඬේ 51/2)

ඉන්දීය ‘ඒ’ පිල - ඕවර 33.3 කදී කිසිවකු නොදැවී 243
(රුතුරාජ් ගයික්වාද් නොදැවී 125, ශුබ්මන් ගිල් නොදැවී 109)


-036

 


අදහස් (0)

ඉන්දීය ‘ඒ’ පිලට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.