Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇමරිකාවේ ක්‍රිකට් උණ උත්සන්න වෙයි

ඇමරිකාවේ ක්‍රිකට් උණ උත්සන්න වෙයි

editorial - 2020 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇමරිකාවට ලෝක බලවතා යයි කීවද ක්‍රිකට් ක්‍රීඩාවේදී නම් ඇමරිකාවට කළ හැකි දෙයක් නැති බව දන්නෝ දනිති. එහෙත් වසර 26 කට ඉහතදී (1994 දී) පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරීමෙන් සාර්ථකත්වයට පත් ඇමරිකාවේ තවත් ජාතික සංගමයක් වන ඇමරිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඇමරිකාවේදී පැවැත්විය හැකි නම් ක්‍රීඩාංගණ සියල්ලම නරඹන්නන්ගෙන් පිරී ඉතිරී යනු ඇති බවයි.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංගමය සමග එක්වී වසර 2023 දී විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ඇමරිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වෙයි.

වසර 1994 දී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීම සඳහා ලක්ෂ 35 ක් පමණ පැමිණි අතර එය අදටත් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තාවකි.

“විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඇමරිකාවේදී පැවැත්වූවොත් ක්‍රීඩාංගණ සියල්ලේම ප්‍රවේශපත් විකිණී අවසන් වේවි...අනෙක් ක්‍රීඩාත් ඔවුන්ගේ ප්‍රධාන පෙළේ තරගාවලි ඇමරිකාවේදී පවත්වා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ සාම්ප්‍රදායික නොවන වෙළෙඳපොල අල්ලා ගැනීම සඳහායි” යයි ඇමරිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඉයන් හිගින්ස් මහතා බී.බී.සී. පුවත් සේවයට පැවසීය.
වසර 2019 ආරම්භයේදීම එක්දින අන්තර්ජාතික වරම් දිනාගත් ඇමරිකාව පසුගිය දෙසැම්බර් මාසයේදී ස්කොට්ලන්තය පරාජය කිරිමට සමත් විය. මේ වන විට එංගලන්ත සංචිතයෙන් ඉවතට විසිවී සිටින ටෙස්ට් සහ එක්දින ක්‍රීඩක ලයාම් ප්ලන්කට් පසුගිය සතියේදී කියා සිටියේ තමන් ඇමරිකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් වන බවයි.

ඇමරිකානු ක්‍රිකට් ප්‍රධානියා පවසන්නේ ටෙස්ට් වරම් (අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය) ලබාගැනීම තමන්ගේ ප්‍රධාන ඉලක්කය බවයි.

“අපේ කෙටි කාලීන ඉලක්කය වෙන්නේ ටෙස්ට් වරම් තියෙන රටවල කණ්ඩායම් සමග තරග කිරීමයි. දිගු කාලීන ඉලක්කය වෙන්නේ ඉදිරි වසර 10 ඇතුළත ටෙස්ට් තත්ත්වය ලබාගැනීමයි” යයිද ඉයන් හිගින්ස් මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම ඉලක්ක දෙක කරා යාම පහසුවෙන් කළ හැක්කක් නොවේ. මෙම ඉලක්ක දෙක කරා යාමේදී තීරණාත්මක සාධකය වන්නේ ඇමරිකානු ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේදී දක්වන දස්කම්ය. විශේෂයෙන්ම වර්තමානයේදී ක්‍රිකට් කණ්ඩායම් කෙරෙහි බලපවත්වන රූපවාහිනී වටිනාකම් හේතුවෙන් කණ්ඩායම් දෙකක් අතර පවතින තරගකාරී බව කණ්ඩායමක ඉදිරි ගමන සඳහා විශාල වැදගත්කමක් ගනී.

ෆ්ලොරිඩාවේ පිහිටි ලවුඩර්හිල් උද්‍යානය අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වීම සම්බන්ධයෙන් ඇමරිකාව පුරා නමක් දිනාගත් ස්ථානයකි. එහිදී එක්දින ජාත්‍යන්තර තරග 6 ක් පැවැත්වී ඇති අතර විස්සයි-20 අන්තර්ජාතික තරග 10 ක් ද එහි පවත්වා තිබේ. තවත් මාස දෙකකින්, එනම්අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාව සහ කොදෙව් පිල අතර විස්සයි-20 තරගයක් මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටද කටයුතු සූදානම් කෙරීගෙන යයි.

ඇමරිකාවේදී විස්සයි-20 ක්‍රිකට් ලීගයක් ආරම්භ කිරීමද ඇමරිකානු ක්‍රිකට් බලධාරීන්ගේ තවත් ඉලක්කයකි. ඒ සඳහා අන්තර්ජාතික තරග පැවැත්විය හැකි ක්‍රීඩාංගණ 6 ක් ඉදිකිරීමට ඔව්හු බලාපොරොත්තු වෙති.

“අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලි දෙක සඳහාම ඇමරිකාවෙන් ගිය ක්‍රීඩාලෝලීන් දිහා බැලුවා නම් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇමරිකානුවන් අතර කොයිතරම් උනන්දුවක් තියෙනවාද කියලා ඔබටම හිතාගන්න පුළුවන්”

“නිකම් හිතන්න, ඉන්දියාවත් පාකිස්තානයත් අතර විස්සයි-20 ලෝක කුසලාන තරගයක් ඇමරිකාවේදී පැවැත්වෙනවා කියලා... ඒ තරගය සඳහා ප්‍රමාණවත් ක්‍රීඩාංගණයක් ඉදිකරන්නත් බැරිවේවි” යයි ද ඉයන් හිගින්ස් මහතා පැවසීය.

 -  213


අදහස් (0)

ඇමරිකාවේ ක්‍රිකට් උණ උත්සන්න වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.