Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු ශූරතාවලියට 15 ක් යති

ආසියානු ශූරතාවලියට 15 ක් යති

ශනුක අරවින්ද - 2019 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු රටවල් 48 ක් නියෝජනය කරමින් දෝහා කටාර්හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා (21) ආරම්භ වන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම හෙට (18) දිවයිනෙන් පිටත්ව යයි. ආසියානු රන් පදක්කම්ලාභිනී නිමාලි ලියනආරච්චිගේ නායකත්වයෙන් යුත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 15 දෙනෙක්, නිලධාරීන් හා පුහුණුකරුවෝ හය දෙනකුගෙන් සමන්විතය.

තරගාවලියේ ආරම්භක දිනයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පස් දෙනෙක් තරග බිමට පිවිසෙති.

නිමාලි ලියනආරච්චි හා ගයන්තිකා අබේරත්න මීටර 800 කාන්තා ඉසව්ව සඳහා ද එහි පිරිමි ඉසව්ව සඳහා රුසිරු චතුරංග ද, තුන් පිම්ම (පිරිමි) ඉසව්ව සඳහා ශ්‍රේෂන් ධනංජය ද, මීටර 400 කාන්තා හා පිරිමි ඉසව් සඳහා නදීෂා රාමනායක හා අජිත් ප්‍රේමකුමාර ද වෙති.

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය එළඹෙන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට (2019 - කටාර්) හා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට (2020 - ජපානය) ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් ලබා ගැනීමට ලැබෙන හොඳ අවස්ථාවක් වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු, ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ හිටපු සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.

මේ වසරේ සැප්තැම්බර් 28 වැනිදා කටාර්හිදී ආරම්භ වන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට මේ දක්වා කිසිම ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු හො ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වී සිටී. කෙසේ වුවත් ඒ සඳහා ලබන අගෝස්තු 25 වැනිදා දක්වා අවස්ථාව හිමිව තිබෙන අතර ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ගැනීමට අපොහොසත් වුවහොත් ඒ සඳහා පංගු ක්‍රමය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකුට පමණක් අවස්ථාව හිමිවෙයි.

අගෝස්තු 25 වැනිදාට පෙර එම තත්ත්වයේ වෙනසක් සිදු නොවන්නේ නම් පංගු ක්‍රමය යටතේ එම අවස්ථාව උදාකර ගැනීමට වඩාත් ආසන්නව සිටින්නේ කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන් හා මැදි දුර ධාවන ශූරී නිමාලි ලියනආරච්චිය.

වසර 20 කට පසුව ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට පිරිමි සහය දිවීමේ (මීටර 4X400) කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට අපොහොසත්ව සිටී. ඉන්දියාවේ බහුබුනේෆ්වර් නුවරදී පැවති 22 වැනි තරගාවලියේදී ශ්‍රී ලංකාව එහි රිදී පදක්කම දිනා ගැනීමට (විනාඩි 3 තත්පර 02.92) සමත් විය.

එම සහය දිවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කාලිංග කුමාර මේ වන විට තහනම් උත්තේජක චෝදනාවට ලක්ව තරග තහනමකට මුහුණ දී සිටීමත් අරුණ දර්ශන ආබාධ තත්ත්වයේ පසුවීමත් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට සහය දිවීමේ ඉසව්ව අහිමි කළ සිදුවීමක් බවට පත්ව තිබේ. රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත්ව සිටි අජිත් ප්‍රේමකුමාර මෙවර මීටර 400 (පිරිමි) ඉසව්වට ඇතුළත්ව සිටියි.

පසුගිය ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව හිමිකරගත් රන් පදක්කම මෙවර නායකත්වය දරන නිමාලි ලියනආරච්චි විසින් දිනා ගන්නා ලද්දකි. විනාඩි 2 තත්පර 05.23 කට ඇය එවර මීටර 1800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර මෙවර තරගාවලියේදී ඇය සමග මීටර 800 කාන්තා ඉසව්වට තරග වදින ගයන්තිකා අබේරත්න (විනාඩි 2 තත්පර 05.27) පසුගිය තරගාවලියේදී එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

මේ අතර බහුබුනේෂ්වර් හිදී මීටර 200 (කාන්තා) ඉසව්වේ රිදී පදක්කම දිනාගත් (තත්පර 23.10) ශ්‍රී ලාංකික ක්‍රීඩිකා රුමේෂිකා රත්නායකගේ මෙවර සහභාගිත්වය අත්හැර දැමීමට සිදුවූයේ ඇය  තේරීම් තරග සඳහා සහභාගි නොවීමෙනි. ඇය මේ වනවිට  විදේශගතව පුහුණුවීම් හදාරමින් පසුවේ.

එම තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් සෙසු එකම පදක්කම දිල්හානි ලේකම්ගේගෙන් වාර්තා වූයේ හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙනි. ඒ ඇගේ එතෙක් හොඳම දක්‍ෂතාවය මීටර 58.11 කට ප්‍රදර්ශනය කරමිනි. මීටර 800 (කාන්තා) හා එහි පිරිමි ඉසව්වෙන්ද  එමෙන්ම  දුර පැනීම (පිරිමි) හා මීටර 3000 - ධාවන (කාන්තා) යන ඉසව් වෙතින් ශ්‍රී ලංකාව මෙවර ඉහළම පදක්කම් අපේක්‍ෂාවෙන් පසුවේ.

1973 දී ආරම්භ වූ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී එදා මෙදා තුර ශ්‍රී ලංකාව රන් පදක්කම් 19 ක්, රිදී පදක්කම් 14 ක් හා ලෝකඩ පදක්කම් 19ක් දිනාගෙන තිබේ. 1981 සිට මෙම තරගාවලිය අඛණ්ඩව මේ දක්වා ජයගෙන තිබෙන චීනය මේ දක්වා රන් පදක්කම් පමණක් 308 ක් දිනා ඇත.

මෙවර  තරගාවලිය ලබන ඉරිදා ආරම්භ වී ලබන බදාදා (24) දක්වා පැවැත්වේ. ශ්‍රී ලාංකිකයන් කීපදෙනකු පිහිටුවූ තරගාවලියේ වාර්තා අදටත් නොබිඳී පවතින  අතර ඒ අනුව මීටර 400 (පිරිමි) ඉසව්වෙන් සුගත් තිලකරත්න (තත්ත්පර (44.61) හා දමන්ති දර්ශා (මීටර් 200 කාන්තා - තත්පර 22.84 හා මීටර 400 - කාන්තා - තත්පර 51.05) සතුව අදටත් එම වාර්තා පවතියි.

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම

පිරිමි කණ්ඩායම
හිමාෂ ඒෂාන් (මීටර් 100), ප්‍රසාද් විමලසිරි (දුරපැනීම), ධනුෂ්ක සඳරුවන් පියරත්න (දුරපැනීම), ග්‍රේෂන් ධනංජය (තුන්පිම්ම), සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), අජිත් ප්‍රේමකුමාර (මීටර 400), රුසිරු චතුරංග (මීටර 800), හේමන්ත කුමාර (මීටර 1500).

කාන්තා කණ්ඩායම
නිමාලි ලියනආරච්චි (මීටර 800, මීටර (4x400), ගයන්තිකා අබේරත්න (මීටර 800, මීටර 4x400), නිලානි රත්නායක (මීටර 3000 - බාධක ), නදීෂා රාමනායක (මීටර 400 - මීටර 4x400), විදුෂා ලක්‍ෂානි (තුන් පිම්ම), දිල්ෂි කුමාරසිංහ මීටර 4x400), උපමාලිකා රත්නකුමාරි (මීටර 4x400).

නිලධාරීහු
ලාල් චන්ද්‍රකුමාර (කළමනාකරු). අයිරාංගනී රූපසිංහ (ක්‍රීඩිකාවන් භාර නිලධාරිනී), සජිත් ජයලාල්, එම්.සී.කේ. පෙරේරා (පුහුණුකරුවෝ), අසංක සුදර්ශන රණසිංහ (සම්භාහක), ලාල් ඒකනායක (වෛද්‍ය නිලධාරි) යන මහත්ම මහත්මීහු

 

- 223


අදහස් (0)

ආසියානු ශූරතාවලියට 15 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.