Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු ක්‍රීඩා උළෙලට 15 ක්

ආසියානු ක්‍රීඩා උළෙලට 15 ක්

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහය දිවීමේ කණ්ඩායම් දෙකක්ද ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත මලල ක්‍රීඩා කණ්ඩායමක් නිර්දේශ වනු ඇතැයි වාර්තා වේ. ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ‘සලෙම්බෑන්ග්’ හා ‘ජකර්තා’ යන නගරවලදී පැවැත්වෙන්නේ ලබන අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වාය. එහි මලල ක්‍රීඩා තරගාවලිය අගෝස්තු 22 සිට 29 වැනිදා දක්වා ‘ජකර්තා’ නුවරදී පැවැත්වේ.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සෙනසුරාදා (12 වැනිදා) සුගතදාස පිටියේදී විශේෂ තේරීමේ තරගාවලියක් පවත්වනු ලැබීය.

එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළකල දක්‍ෂතා අනුව මීටර 400X4 හා මීටර 100X4 යන ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම් දෙක හැරෙන්නට දුර පැනීම (පිරිමි), උස පැනීම (පිරිමි), මීටර 100 (පිරිමි), මීටර 400 (පිරිමි), මීටර 800 (කාන්තා), මීටර 400 (කාන්තා), මීටර 1500 (පිරිමි) යන ඉසව් වලින් ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීමට වැඩි අවස්ථාවක් හිමිව තිබූ බව ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.

මීටර 100 ක්‍රීඩක හිමාෂ ඒෂාන් හා උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර විජේසේකර මෙම තේරීම් තරගාවලියට ආරාධනා ලබා තිබුණත් ඔවුන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ඊට සහභාගි නොවූහ.

දුර පැනීම (පිරිමි) ඉසව්වෙන් කලකට පසු හොඳම දක්‍ෂතාවයක් වාර්තා කිරීමට සමත් වූ යුද හමුදා ක්‍රීඩක ඩී.ඒ.ජීජේ.පී විමලසිරි මීටර 8.10 කට ඔහුගේ දක්‍ෂතාවය පළ කළ අතර එහි ජාතික තරග වාර්තාව මීටර 8.15 කි.
උස පැනීමේ ජාතික ශූරයා ලෙස වසර 2004 සිට එහි ශ්‍රී ලංකා වාර්තාවට (මීටර 2.27) හිමිකම් කියන මංජුල කුමාර විජේසේකරගෙන් පසුව මම ඉසව්වේ වඩාත් හොඳම දක්‍ෂතාවය පෙරේදා තේරීම් තරගාවලියේදී ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේ පාසල් ක්‍රීඩකයෙකු වන උෂාන් තිවංක පෙරේරාය. ඒ මීටර 2.24 ක උසක් පනිමිනි. මේ වනවිට ජාතික ශූර මංජුල කුමාරගෙන් පළ වී ඇත්තේද එම සමාන දක්‍ෂතාවයයි.

මීටර 800 (කාන්තා) ඉසව්ව තේරීම් තරගයේදී විනාඩි 2 තත්ත්පර 04.04 හා විනාඩි 2 තත්පර 04.16ක් ලෙස නිමාකළ නිමාලි ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න යන දෙදෙනාටම මෙවර ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාවට හිමිවනු ඇතැයි වාර්තාවේ.

මීටර 100 කඩුලු ඉසව්වේදී ක්‍රීඩිකා ආර්.ඒ.අයි.එස් රාජසිංහ තත්ත්පර 13.95 කට තේරීම් තරගය නිමා කිරීමද එහිදී පළ කෙරුණ හොඳ දක්‍ෂතාවයකි.

මීටර 400 (කාන්තා) ඉසව්ව පෙරේදා තේරීම් තරගයේදී ඊ.ඩබ්.යූ. රත්නකුමාරි තත්ත්පර 53.81 කට තරගය නිමා කළාය. මීටර 400 (පිරිමි) ඉසව්ව තත්ත්පර 46.42කට ඩබ්.එම් දිල්ෂි රුවන් තත්ත්පර 46.42කට ද එම්.ජී.ඒ ප්‍රේමකුමාර තත්ත්පර 46.69 කටද නිමා කිරීම තුළ මෙවර ඔවුන්ගේ ආසියානු ක්‍රීඩා තරග නියෝජනයට වඩාත් අවස්ථාවක් විවර වී තිබුණි.

යුද හමුදා ක්‍රීඩක දසුන් කුෂාන්ත විනාඩි 1 තත්ත්පර 50.46 කට මීටර 800 (පිරිමි) ඉසව්ව පෙරේදා තේරීම් තරගයේදී නිමාවට පත් කළේය. වසර 1993 දී ‘ඩකා’ සාෆ් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක රංජිත් සුබසිංහ විනාඩි 1 තත්ත්පර 47.56 කට පිහිටුවා තිබෙන ජාතික වාර්තාව මෙතෙක් බිඳ වැටී නැති ශ්‍රී ලංකාවේ පැරණිතම මලල ක්‍රීඩා තරග වාර්තාවක් බවට පත්ව තිබේ.

මේ අතර මීටර 100 (පිරිමි) ඉසව්වේ දක්‍ෂතාද පෙරේදා තේරීමේ තරගයේදී කැපී පෙණුනි. යුද හමුදා ක්‍රීඩක සුපුන් අබේකෝන් තත්ත්පර 10.31කට ධාවනය අවසන් කළ අතර වසර 2016 ගුවහටිහිදී පැවති සාෆ් ක්‍රීඩා උළෙලේදී තත්ත්පර 10.26 කට එහි රන් පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩක හිමාෂ ඒෂාන් දිනා ගත්තේ එහි නව ජාතික වාර්තාවක් ද පිහිටුවමිනි.

ආසියානු ක්‍රීඩා උළෙල, ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය (ජපානය) ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය (පින්ලන්තය) යොවුන් ඔලිම්පික් උළෙල (ආජන්ටිනාව) හැරෙන්නට ශ්‍රී ලංකාව ඉදිරියේදී වියට්නාමයේදී පැවැත්වෙන ආරාධිත තරගාවලිය, බැංකොක් නුවරදී පැවැත්වන යොවුන් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට හා කොරියාවේදී පැවැත්වෙන කොරියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට නියමිතය.

එහිදී කොරියානු තරගාවලියට නිර්දේෂ කර තිබූ ශ්‍රී ලංකා 100X4 (පිරිමි) කණ්ඩායම එම සංචාරයෙන් ඉවත් කර තිබෙන අතර ඊට හේතු වී ඇත්තේ එහි ක්‍රීඩක හිමාෂ ඒෂාන් ආබාධ තත්ත්වයකින් පසුවීමයි.

 


අදහස් (0)

ආසියානු ක්‍රීඩා උළෙලට 15 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.