Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර්ජාතික ජලක්‍රීඩා සංගමයට අභියාචනයක්

අන්තර්ජාතික ජලක්‍රීඩා සංගමයට අභියාචනයක්

නාමල් පතිරගේ - 2020 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට පනවා තිබෙන ජාත්‍යන්තර තහනම ඉවත් කරවා ගැනීම සඳහා එහි වත්මන් සභාපති නේතෲ නානායක්කාර මහතා අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමයේ විධායක අධ්‍යක්ෂ කෝෆ්ල් මාකුලෙස්ක්යූ මහතාට ලිපියක් යොමු කරන නානායක්කාර මහතා, එහි දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ජල ක්‍රීඩා තහනමට බලපෑ කාරණා පසුගිය ජූලි 19දා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය පැවැත්වීමෙන් නිවැරැදි කර ගෙන තිබෙන බවයි. එබැවින් ඉදිරියේදී පැවැත්වෙන අන්තර් ජාතික ජල ක්‍රීඩා තරගමාලා සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකාවට වටපිටාව නැවත සකස් කර දෙන ලෙසත් නානායක්කාර මහතා ඉල්ලා සිටී.

වසර 2018 නොවැම්බර් 16 වැනිදා එවකට ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවන ලදි. පසුව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද අතුරු කමිටුවකට දේශීය ජල ක්‍රීඩා පරිපාලන කටයුතු පැවරීම නිසා අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමය විසින් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට තහනමක් පනවන ලදි.

අන්තර්ජාතික සංගමය අවධාරණය කළේ, අතුරු කමිටුව පත්වීමට පෙර ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා පරිපාලනය මෙහෙයවූ මහින්ද ලියනගේ මහතාගේ සහභාගිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ විධායක සභාව තවදුරටත් ශ්‍රී ලංකාවේ නිල නියෝජිතයා ලෙස තමන් පිළිගන්නා බවයි.  කෙසේ වුවත් ජල ක්‍රීඩා අතුරු කමිටුව මගින් පසුව ජාත්‍යන්තර පිහිනුම් හා දිය පිනුම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් කිරීමට දැරූ උත්සාහයන් අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමය විසින් ප්‍රතික්ෂේප කිරීම මෙම ප්‍රශ්නයේ උච්චතම අවස්ථාව විය.

ඒ අතර ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් කැඳවෙන ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණ තමන් පිළි නොගන්නා බවයි. ඒ වෙනුවට එම සංගමයේ ව්‍යවස්ථාවට අනුව නිලවරණ කැඳවන ලෙස අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමය වැඩිදුරටත් ශ්‍රී ලංකාවට උපදෙස් දී සිටියේය.

වසර 2019 ජූලි 19 වැනිදා පැවැති නිලවරණයෙන් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ වත්මන් නිලධාරි මණ්ඩලය තේරී පත් විය. එහිදී රාජකීය විදුහල් පිහිනුම් සංගමයේ සභාපති නේතෲ නානායක්කාර මහතා වැඩි ඡන්ද 16කින් සභාපති ධුරයට තේරී පත්විය. ලේකම් ධුරයට පත්වූයේ  බී.එම්. යහම්පත් මහතාය. එහි භාණ්ඩාගාරික ධුරයේ කටයුතු කරන්නේ ද ඡන්ද විමසුමෙන් ජය ලැබූ ඩී.එස්.පී. අබේසිංහ මහතාය. ජල ක්‍රීඩා සංගමයේ උප සභාපති ධුර ගණන පහකි.

ජල ක්‍රීඩා ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර සංගමයට යොමු කළ අභියාචනාව පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී සභාපති නේතෲ නානායක්කාර මහතා මෙසේ ද පැවසීය.

“මෙම වසරේදී උද්ගතවූ කොරෝනා වසංගතය නිසා ජාත්‍යන්තර තරගාවලි සංවිධානය මුළුමනින්ම අඩාල වුණා. ඒ නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග තහනම ඒ තරමටම දැනුණේ නෑ.“

“නමුත් දැන් මේ තහනමට වසර දෙකකට ආසන්න කාලයක් වෙනවා. ලබන වසර අපට තීරණාත්මකයි. කල් දමනු ලැබූ ලෝක ජල ක්‍රීඩා ශූරතා තරගාවලිය මෙන්ම ටෝකියෝ ඔලිම්පික් උළෙලටත් අපි සහභාගි වෙන්න සූදානම් වෙලා ඉන්නවා. මේ නිසා ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම අපට ඉතා වැදගත්.“ යයිද හෙතෙම පැවසීය.

මේ අතර ජල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන් හා ක්‍රීඩා නව ඇමැති නාමල් රාජපක්ෂ මහතා අතර පැවැති හමුවකදී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ජල ක්‍රීඩා තහනම සාකච්ඡාවට ලක්වී තිබේ. එහිදී ඇමැති නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම සඳහා තමා මැදිහත්වීමට සූදානම් බවයි.

ඒ සඳහා මූලික පියවරක් ලෙස ජාත්‍යන්තර සංගමයට යොමු කළ අභියාචනයේ පිටපතක් තමන්ට ලබා දෙන ලෙසත් ඔහු නේතෲ නානායක්කාර මහතාගෙන් ඉල්ලා තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ කමිටු සාමාජික ධුර ගණන තුනකි. එහි එක් ධුරයක් මේ වන විට දරන්නේ ජල ක්‍රීඩා සංගමයේ විධායක සභිකයකු වන ඒ.ටී. චානක හසන්න මහතායි.

ජල ක්‍රීඩා සංගමයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය පත්කළ අතුරු කමිටුවේ සභාපතිධුරය දැරුවේ ක්‍රීඩා  අධ්‍යක්ෂ (සංවර්ධන) රුවන් සත්කුමාර මහතාය.

 


අදහස් (0)

අන්තර්ජාතික ජලක්‍රීඩා සංගමයට අභියාචනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.