Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මුල් පුටුවට ග්‍රෙග් බාක්ලේ

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මුල් පුටුවට ග්‍රෙග් බාක්ලේ

editorial - 2020 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවන වටයේ ඡන්ද විමසීමෙන් පසුව නවසීලන්තයේ ග්‍රෙග් බාක්ලේ මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී) සභාපතිවරයා ලෙස තේරී පත් විය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති තනතුරෙන් මේ වසර මැදදී ඉවත් වූ ඉන්දියාවේ ශෂාන්ක් මනෝහර් මහතාගෙන් හිස්වූ තනතුරට ඔහු පත්වූයේය.

නවසීලන්තයේ අගනුවර වන ඕක්ලන්ඞ්හි වාණිජ නීතිඥයෙකු වන බාක්ලේ මහතා 2012 සිට නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ. දැනට ඔහු නවසීලන්තය වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියෝජිතයෙක් ලෙස කටයුතු කරයි. එසේ වුවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ධූරයේ කටයුතු ස්වාධීනව මෙහෙයවීම සඳහා ඔහු නවසීලන්තය නියෝජනය කිරිමේ තනතුරෙන් ඉවත් වෙනු ඇත.

වසර 2015 දී, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ග්‍රෙග් බාක්ලේ මහතා උතුරු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු සහ සභාපතිවරයෙකි. බාක්ලේ මහතා නවසීලන්ත හා ඕස්ටේ්‍රලියානු විවිධ සමාගම් වල අධ්‍යක්ෂ තනතුරු දරන පළපුරුදු සමාගම් අධ්‍යක්ෂවරයෙකි.

“ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වීම ගෞරවයක් වන අතර මාගේ සෙසු අධ්‍යක්ෂවරුන්ගේ සහයෝගයට ස්තූතිවන්ත වෙනවා. ක්‍රීඩාවට නායකත්වය දීමටත්, ගෝලීය වසංගතයෙන් ශක්තිමත් ස්ථානයක සිට වර්ධනය වීමටත් අපට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යැයි තමන්ගේ පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ග්‍රෙග් බාක්ලේ මහතා පැවසීය.

“අපගේ ප්‍රධාන වෙළඳපල තුළ ක්‍රීඩාව ශක්තිමත් කිරීමටත්, ඉන් ඔබ්බට එය වර්ධනය කිරීමටත් අපගේ සාමාජිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා. මම ක්‍රීඩාවේ භාරකරුවෙකු ලෙස මගේ තනතුර ඉතා බැරෑරුම් ලෙස සලකන අතර අපගේ ක්‍රීඩාවට තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අයි.සී.සී සාමාජිකයින් 104 දෙනා වෙනුවෙන් කටයුතු කිරීමට මම කැපවී සිටිනවා”

“දුෂ්කර කාල පරිච්ඡේදයක් තුළ අයි.සී.සී වැඩබලන සභාපති ලෙස කටයුතු කළ ඉම්රාන් කවාජාගේ නායකත්වයට මම ස්තූතිවන්තවන අතර අනාගතයේදී ඔහු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා.” යැයි බාර්ක්ලේ මහතා වැඩිදුරටත් පැවසීය.

නව සභාපතිවරයා තෝරා ගැනීම සදහා පැවැති ඡන්ද විමසීමේ දී ග්‍රෙග් බාක්ලේ මහතා හමුවේ පරාජයට පත් වූයේ මෙතෙක් වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් කවාජා මහතාය. පසුගිය සතියේ පැවැති පළමු වටයේ ඡන්ද විමසීමේ දී ග්‍රෙග් බාක්ලේ මහතාට ඡන්ද 10ක් හිමිවූ අතර, ඉම්රාන් කවාජා මහතාට හිමිවූයේ ඡන්ද 6ක් පමණි.

කෙසේ වෙතත්, සභාපතිවරයා ලෙස තේරී පත් වීමටනම් ඡන්ද විමසීමේදී තුනෙන් දෙකක බහුතර ඡන්ද බලයක් ලබා ගත යුතුව ඇත. එනම් අයි.සී.සී අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින් 16 දෙනාගෙන් ඡන්ද 11ක් ලබා ගන්නා පුද්ගලයාට ජය හිමිවන්නේය. ඒ අනුව දෙවන වටයේ ඡන්ද විමසීමේ දී ග්‍රෙග් බාක්ලේ මහතාට තීරණාත්මක 11 වන ඡන්දය දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයෙන් හිමිවීමත් සමගින් සභාපති තනතුර හිමිකර ගැනීමට ඔහුට අවස්ථාව උදාවිය.

-2079


අදහස් (0)

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මුල් පුටුවට ග්‍රෙග් බාක්ලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.